කොළඹ කොටස් හුවමාරුව ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ ශ්‍රී ලංකා ආර්ථිකයට කාන්තා දායකත්වය යනාදී අරමුණු පෙරදැරිව ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් කොළඹ කොටස් හුවමාරුව (CSE) පසුගියදා යළිත් වරක් එම ආයතනයෙහි කාන්තා ශ්‍රම බලකාය ඇගයීමකට සහ සවිබල ගැනීමකට මුල්පුරන ලද බව පවසයි.

කොළඹ කොටස් හුවමාරුවේ සමස්ත කාර්යය මණ්ඩලයෙන් 43% කින් කාන්තා ශ්‍රම බලකාය සමන්විත වන අතර එය ප්‍රතිශතයක් ලෙස ආයතනයෙහිජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය අතරද පෙන්නුම් කෙරේ. පසුගිය වසර 35 තුළ ශ්‍රී ලංකා කොටස් වෙළඳපොලෙහි වර්ධනයට එම ආයතනයෙහි කාන්තා ශ්‍රම බලකාය සෑම අංශයකින්ම සක්‍රීයව දායක වී ඇත.

2021 අන්තර්ජාතික කාන්තා දිනයට සමගාමීව කොළඹ කොටස් හුවමාරුවෙහි මානව සම්පත් අංශය විසින් ආයතනයෙහි කාන්තා සේවිකාවන් ඇගයීමකට ලක් කිරීම, කාන්තා සවිබල ගැන්වීම මත පදනම් වූ අභ්‍යන්තර වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙන්ම පියයුරු පිළිකාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ඇතුළු වැඩසටහන් ගණනාවක් සංවිධානය කරන ලදී. සේවා යෝජකයෙකු ලෙස කොළඹ කොටස් හුවමාරුවසිය මානව සම්පත් මුල්පිරීම් තුළින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම හා පවත්වාගෙනයාම යනාදී කරුණු කෙරෙහි නිරන්තරයෙන් වැඩි අවධානයක් යොමු කරනුයේ සේවකයින්ගේ යහ පැවැත්ම යන දිගුකාලීන අරමුණු උදෙසාය.

2021 වර්ෂයෙහිදී ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමේ අරමුණ පෙරදැරිව ලෝක බැංකු සමුහයේ සාමාජිකයකු වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) අනෙකුත් දේශීය හා ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ එකාබද්ධව කොළඹ කොටස්  හුවමාරුව අබණ්ඩව සයවනවසරටත් සීනුව නාද කොට ගනුදෙනු ආරම්භ කිරීම උත්සවාකාරයෙන් සමරන ලදී.

වාර්ෂිකව ලොව පුරා විවිධ කොටස්හුවමාරුවල පැවැත්වෙන මෙවැනි සීනුව නාද කිරීමේ උත්සව තුලින් ආර්ථික සංවර්ධනය සදහා කාන්තා සහභාගීත්වය දිරිමත් කිරීම තුලින් පෞද්ගලික අංශයෙහි තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනයට ඉවහල් වන්නේ කෙසේද සහ එහි ඇති වැදගත්කම මෙහිදී පෙන්නුම් කරනු ලබයි.

මෙම උත්සවයෙහි ප්‍රධාන දේශනය මෙහෙයවන ලද්දේ හේමාස් පීඑල්සී සමාගම් සමූහයෙහි ප්‍රධාන විධායක නිලධාරී සහ ශ්‍රී ලංකාවේ පොදු සමාගම් සමූහයක ප්‍රථම කාන්තා ප්‍රධාන විධායක නිලධාරී තනතුර දැරු කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය විසිනි.

මේ පිළිබඳව අදහස් දක්වමින් කොළඹ කොටස් හුවමාරුවෙහි මානව සම්පත් අංශ ප්‍රධානී අනෝජා සේනානායක මහත්මිය පවසා සිටියේ, “ සේවා යෝජකයින් සහ වගකිවයුතු සමාගම් ලෙස සමාජයේ සහ සේවා ස්ථානවල ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වැඩිදියුණු කිරීම සඳහා ඉදිරිපත් වීමට  අප සෑමවිටම  කටයුතු කල යුතු වෙනවා.කොළඹ කොටස් හුවමාරුව, අපි සැමවිටම මෙහෙයවනු ලැබුවේ එම විශ්වාසයෙන් යුතුවයි. සෑම අංශයකම කාන්තාවන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වය ආයතනයක වර්ධනයට අත්‍යවශ්‍ය වන අතර කාන්තාවන්ට ඔවුන්ගේ හැකියාවන් සපුරාලීමට සහ ඔවුන්ගේ නායකත්ව කුසලතා උපයෝගී කර ගැනීමට එවැනි පරිසරයක් නිර්මාණය කිරීමට අපසෑමවිටම කැපවී සිටිනවා”  යනුවෙනි.

Views: 80