ඍජු විදේශ ආයෝජන ආකර්ෂණයට විදෙස් උපදේශන සමාගමක දායකත්වය ලබාගැනීමට යයි

මෙරට වෙත සිදු කරන ඍජු විදෙස් ආයෝජන ප්‍රමාණය ඉහළ නංවා ගැනීම අරමුණු කරගනිමින් එම ඍජු විදේශ ආයෝජන අවස්ථා පිළිබඳව ප්‍රවර්ධනය සඳහා ඉහළ පෙළේ ජාත්‍යන්තර උපදේශක සමාගමක සේවය ලබා ගැනීමට රජය කටයුතු කරන බව පවසයි.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර, ඒ සඳහා කැබිනට් මණ්ඩලයේද අනුමැතිය හිමිව ඇතැයි ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේදී අනාවරණය කෙරිණි.

විශේෂයෙන්ම ආයෝජන සඳහා සුදුසුම සත්කාරක රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය බව විදහා දැක්වීම සඳහා හොඳින් සැලසුම් කළ, සුසං‘යෝගී සහ කේන්ද්‍රගත අලෙවිකරණ හා සම්බන්ධීකරණ උපායමාර්ගයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් හඳුනාගෙන තිබීම මෙලෙස විදෙස් උපදේශන සමාගමක දායකත්වය ලබා ගැනීමට හේතුව බව රජය පවසයි.

“ඍජු විදේශ ආයෝජන ආර්ථික සංවර්ධනයේ තීරණාත්මක ගාමක බලවේගයක් වුවත්, පසුගිය වසර කිහිපය තුළ මෙරට තුළ ආයෝජනය සිදුකළ හැකි ආයෝජකයින් ඍජුව ඉලක්ක කළ හැකි උපායමාර්ග හඳුනාගෙන නොතිබීම නිසා එම ආයෝජන ආකර්ෂණ ක්‍රියාවලිය දුර්වල වී තිබේ.” මෙම කැබිනට් මාධ්‍ය නිවේදනයේ සඳහන් වෙයි.

එහිදී ශ්‍රී ලංකාව හා තරගකාරී රටවල් ඉතා ඉහළ ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට පසුගිය කාලය තුළ පියවර ගෙන ඇති නමුත් ශ්‍රී ලංකාවට 2019 වසරේදී ලබා ගත හැකි වූයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක විදේශ ආයෝජන පමණක් බවත් රජය වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 272