සොෆ්ට්ලොජික් වෙත ඒකාබද්ධ වාර්තාකරණය පිළිබඳ සහතිකයක්

සොෆ්ට්ලොජික් ලයිෆ් හි 2020 වාර්ෂික වාර්තාව ඒකාබද්ධ වාර්තාකරණය (integrated reporting) පිළිබඳ බාහිර සහතිකය (external assurance) හිමිකර ගත් ආසියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද පළමු සමාගම බවට මෑතකදී පත් වූ බව පවසයි. මේ තුළින් කොටස්කරුවන් හා ප‍්‍රධාන පාර්ශවකරුවන් කෙරෙහි විනිවිදභාවයෙන් යුතු වාර්තාකරණය සඳහා සමාගමේ කැපවීම පිළිබිඹු වී තිබේ.

සොෆ්ට්ලොජික් ලයිෆ් හි 2020 වාර්ෂික වාර්තාව ලබාගත් මෙම පිළිගැනීම ඒකාබද්ධ වාර්තාකරණය පිළිබඳ නැගී එන ප‍්‍රවණතාවක් ලෙස සැලකිය හැකිය.

මූල්‍ය තොරතුරු හා ඒකාබද්ධ වාර්තාකරණය (integrated reporting) පිළිබඳ බාහිර සහතිකය (external assurance) ලබා ගැනීමට සොෆ්ට්ලොජික් ලයිෆ් අධ්‍යක්ෂ මණ්ඩලය අයදුම් කිරීමෙන් අනතුරව එම වාර්තාව ජාත්‍යන්තර නිර්දේශවලට අනුකූලව සකස්කර ඇත්දැයි තක්සේරු කිරීමට සහ අදාල වැදගත් අන්තර්ගත කොටස් ආවරණය වන බව සහතික කර ගැනීමට KPMG විසින් එම වාර්තාව නැවත විමර්ශනය කළේය.

ඒ අනුව අන්තර්ජාතික ඒකාබද්ධ වාර්තාකරණ කවුන්සලයේ (IIRC) ක‍්‍රියාකාරකම්වලට අදාල වාර්ෂික වාර්තාවේ ඇති වඩාත් වැදගත් දත්ත හා ප‍්‍රකාශ මූලික ලියකියවිලිවලින් හා සුදුසු බාහිර මූලාශ‍්‍රවලින් උපුටා ගෙන ඇති බව විගණකාධිපතිවරයා සහතික කළේය.

මේ පිළිබඳව අදහස් දක්වන සොෆ්ට්ලොජික් ලයිෆ් කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඞ් මහතා ‘‘මෙම ඇගයීම හිමිකර ගත් ආසියාවේ පළමු ජීවිත රක්ෂණ සමාගම වීම ගැන අප ඇත්තෙන්ම ආඩම්බර වනවා, එය සමස්ත ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රය ලැබූ සුවිශාල ජයග‍්‍රහණයක් ලෙස පෙන්වා දිය හැකියි. එමෙන්ම මෙම ඇගයීම ලබා ගැනීමේදී අප උගත් පාඩම් ලොව පුරා ව්‍යාපාර කටයුතු කිරීමේදී අපට උපකාර වනු ඇති බව අපට විශ්වාසයි.’’

‘One Lankan’ යන තේමාව යටතේ සකස් කර ඇති වාර්ෂික වාර්තාව සොෆ්ට්ලොජික් ලයිෆ් 2020 දී සහ එහි විසිඑක් වසරක මෙහෙයුම් කාලය තුළ සිය පාර්ශවකරුවන් සඳහා සමාගමේ ජීවිත රක්ෂණ අංශයේ තත්වය පිළිබඳව සියලූ තොරතුරු ඇතුලත් නමුත් කෙටි විස්තරයක් සපයයි. පාර්ශවකරුවන්ට අවශ්‍යය වන ජාත්‍යන්තර ජීවිත රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ න්‍යාය පිළිබඳ උපදෙස් සහ මූලික ප‍්‍රතිපත්ති පිළිබඳව මෙහි අන්තර්ගත වේ.

මේ පිළිබඳව අදහස් දක්වන සොෆ්ට්ලොජික් ලයිෆ් ප‍්‍රධාන මූල්‍ය නිලධාරී නුවන් පුෂ්පකුමාර මහතා ‘‘2017 වසරේ සිට වීඩියෝ ආකෘතියකින් ද ඉදිරිපත් කරනු ලබන මූල්‍ය වාර්තාව සඳහා අපගේ පාර්ශවකරුවන්ගෙන් ලැබෙමින් පවතින ධනාත්ම ප‍්‍රතිචාරය මෙම සුවිශේෂී නවෝත්පාදනයේ සාර්ථකත්වය සනාථ කරනවා. අභියෝගාත්මක වර්ෂයක් තුළ තිරසාර වර්ධනයක් සහිතව ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ තුන්වන විශාලතම සමාගම බවට පත්වීමට ව්‍යාපාරික උපායමාර්ග සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම ඉහළට ඔසවා තබා ඇති ආකාරය එමඟින් විස්තර කරනවා’’ යනුවෙන් පැවසුවේය.

තවද සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම සිය වාර්ෂික මූල්‍ය වාර්තාව අඛණ්ඩව සිව්වන වරටත් වීඩියෝවක ආකෘතියකින් ඉදිරිපත් කර තිබීම විශේෂිතය. මෙම විඩියෝව ශ්‍රී ලංකා යූටියුබ් චැනලයේ සහ සොෆ්ට්ලොජික් ලයිෆ් වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත්කොට ඇත.

Visits: 56