ටෙලිකොම් පීඑල්සී කොටසකට රුපියල් 1.49 බැගින් ලාභාංශ ගෙවීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත දුරකතන සන්නිවේදන සමාගමක් වන ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට යෝජනා කර ඇතැයි පවසයි. පසුගියදා පැවැත් වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත් කෙරී ඇත.

ඒ අනුව මෙහිදී සමාගම මගින් දැනට නිකුත් කර ඇති ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1.49 බැගින් ලාභාංශ ගෙවීමට යෝජනා කෙරී තිබේ.

2020 මූල්‍ය වර්ෂය සඳහා වන මෙම ලාභාංශ ගෙවීම පළමු සහ අවසන් ලාභාංශ ගෙවීම බව ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගම සඳහන් කරයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන මැයි 17 වැනිදා නම් කෙරී ඇත. එසේම ලාභාංශ නොගෙවන දිනය (XD Date) දිනය ලෙස ලබන අප්‍රේල් 26 වැනිදා සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගම සඳහන් කරන ආකාරයට මෙම ලාභාංශ ගෙවීම සඳහා එහි කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය හිමිවිය යුතුව ඇත. එම අනුමැතිය ලබා ගැනීම සඳහා වන වාර්ෂික මහා සභා රැස්වීම ලබන අප්‍රේල් 23 වැනිදා පැවැත්වෙන බවද සමාගම පවසයි.

කොළඹ කොටස් හුවමාරුවෙහි අවසන් ගනුදෙනු දිනය වූ පසුගිය සිකුරාදා දිනයේ ගනුදෙනු නිමාවේදී ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 33.50 ක් ලෙස සටහන්ව තිබුණි. එය ඊට පෙර දිනයේදී (බදාදා) කොටසක වටිනාකම වූ රුපියල් 32.90 ට සාපේක්ෂව ශත 60ක එනම් 1.85%ක ඉහළ යාමකි.

Views: 257