රේනුකා ෆුඩ්ස් ‘රිච්ලයිෆ්’ කොටස් මිලදී ගනියි ‘ෂෝ වොලස්’ කොටස් විකුණයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ආහාර, පාන වර්ග සහ දුම්කොළ අංශයෙහි ලැයිස්තුගත රේනුකා ෆුඩ්ස් පීඑල්සී සමාගම සිය මව් සමාගම වන රේනුකා හෝල්ඩිංග්ස් පීඑල්සීහි පරිපාලිත සමාගම් දෙකක කොටස් මිලදී ගැනීමක් සහ කොටස් අලෙවි කිරීමක් සිදු කර ඇතැයි පවසයි.

සබැඳි පාර්ශ්ව අතර සිදු වුණු ගනුදෙනුවක් වන මෙය පසුගිය මාර්තු 12 වැනිදා සිදුව තිබේ. මෙහිදී රේනුකා ඩිවලොප්ම්ට්ස් (පෞද්) සමාගම යටතේ මෙම ගනුදෙනු සිදුව ඇති අතර, එයද රේනුකා හෝල්ඩිංග්ස් පීඑල්සීහි පරිපාලිත සමාගමකි.

ඒ අනුව මෙම අවස්ථාවේදී සමාගම මගින් රේනුකා ෆුඩ්ස් පීඑල්සී යටතේ ක්‍රියාත්මක රිච්ලයිෆ් ඩේරීස් ලිමිටඩ් සමාගමේ සාමාන්‍ය කොටස් 8,116,000ක් මිලදී ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 221 කි (221,000,000කි).

එසේම මෙම අවස්ථාවේදීම සමාගම මගින් රේනුකා ෆුඩ්ස් පීඑල්සී යටතේ ක්‍රියාත්මක ෂෝ වොලස් සිලෝන් ලිමිටඩ්හි සාමාන්‍ය කොටස් 33,000,000ක් අලෙවි කර ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 216.4 කි (216,480,000කි)

මෙහිදී මෙවැනි ගනුදෙනුවක් සඳහා යොමු වීම ආයෝජනයක් ලෙස සැලකෙන බවද රේනුකා ෆුඩ්ස් පීඑල්සී සමාගම පවසයි.

කෙසේ වෙතත් සිදුවුණු මෙම සබැඳි පාර්ශ්ව අතර ගනුදෙනු හුදෙක් සාමාන්‍ය වාණිජ නියමයන් අනුව සිදු වූවක් වන බවත්, මේ හේතුවෙන් සමාගමේ පැවැත්මට හෝ එහි සුළුතර කොටස්හිමිකරුවන් වෙත හානියක් හෝ සිදු නොවන බවත් සමාගම මගින් සඳහන් කෙරී ඇත.

මේ අතර රේනුකා ෆුඩ්ස් පීඑල්සී මගින් ඉහත ගනුදෙනුව සිදු වූ පාර්ශ්වයන් අතර මෙම මූල්‍ය වර්ෂයේදී සිදු කර ඇති සබැඳි පාර්ශ්ව අතර ගනුදෙනුවල සමස්ත වටිනාකම රුපියල් 516,230,000 කි. එසේම මෙම මූල්‍ය වර්ෂය තුළදී සමාගමේ සියලුම සබැඳි පාර්ශ්වයන් අතර සිදු වූ ගනුදෙනුවල සමස්ත වටිනාකම රුපියල් 526,316,375ක් ලෙසත් සටහන්ව ඇතැයිද සමාගම මෙහිදී අනාවරණය කරයි.

Visits: 490