කොග්ගල කඩොලාන ප්‍රතිස්ථාපනයේ දෙවන අදියරටත් කොමර්ෂල් බැංකු අනුග්‍රහය

ශ‍්‍රී ලංකා වන ජීවී සහ සාගර සම්පත් සංරක්ෂණ ආයතනය (WORC) විසින් සිදුකරන ‘කොග්ගල කඩොලාන ප‍්‍රතිස්ථාපන සහ සංරක්ෂණ ව්‍යාපෘතිය’ සඳහා යළිත් සහයෝගය දක්වමින් කොමර්ෂල් බැංකුව කොග්ගල ජලාශයේ පිහිටි කත්දුව වටා තවත් කඩොලාන පැලෑටි 3,750 ක ආරක්ෂාකාරී වැටක් වගාකිරීම සඳහා අරමුදල් ලබාදී තිබේ.

මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර මේ ආකාරයෙන් ආරම්භ කර තිබෙන්නේ පළමු අදියර මගින් ලැබූ ඉතාමත් ඉහළ ප‍්‍රගතිය සැලකිල්ලට ගනිමිනි. ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ මාර්ටින් වික‍්‍රමසිංහ මහතා විසින් රචිත ‘මඩොල් දුව’ නවකතාවේ සඳහන් දුපතට ආසන්නයේ පිහිටි හබරාදුවේ පිහිටි අක්කර 13.5 කින් සමන්විත මෙම දුපතේ කඩොලාන පැලෑටි 2000 ක් සහ දුපත අවට පරිවාර පැලෑටි 750 ක් සහ වෙනත් පැලෑටි 500 ක් වගා කිරීමට කොමර්ෂල් බැංකුව විසින් අරමුදල් සපයන ලදී.

බැරල් යොදාගනිමින් පැලෑටි වගාකිරීම පළමු අදියරේදී සාර්ථක වූ නිසා දෙවන අදියරේදීද එම ක‍්‍රමයම භාවිතා කරන අතර මේ තුළින් ඉලක්ක කර තිබෙන්නේ දුපත ඉවුරේ පාංශු ඛාදනය වැලැක්වීමටයි.

බැංකුව සඳහන් කරන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය බ්ලූ චාටර් ඇක්ෂන් ගෲප් හි, මහ ලේකම් පැටි‍්‍රෂියා ස්කොට්ලන්ඞ් මෙනෙවිය 2019 වසරේදී ලංකාවට පැමිණි අවස්ථාවේදී ශ‍්‍රී ලංකාවේ තිබෙන කඩොලන වගාකළ හොඳම පරිශ‍්‍රය ලෙසින් මෙම ව්‍යාපෘතිය අගය කළ බවයි. ශ‍්‍රී ලංකා වන ජීවී සහ සාගර සම්පත් සංරක්ෂණ ආයතනය විසින් පොරොන්දු වූ පරිදිම සංරක්ෂණ සහ සතුන්ගේ වාසභූමි ආරක්ෂා කරමින් මෙම ව්‍යාපෘතිය සිදුකිරීමට වසර දෙකක කාලයක් ගතවිය. 

මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණු වන්නේ දැනට විනාශ වෙමින් පවතින පරිසර පද්ධතිය යථා තත්ත්වයට පත්කිරීම සහ පරිසරය ආරක්ෂා කිරීමේ සංස්කෘතියක් සහ භාරකාරත්වයක් ප‍්‍රදේශවාසීන් තුළ ඇති කිරීමටයි.

ආසන්න වශයෙන් වර්ග කිලෝමීටර් 7.27 කින් සමන්විත කොග්ගල කළපුවේ තිබෙන ජෛව විවිධත්වය නිසා ඉහළ සංචාරක ආකර්ශනයක් දිනාගැනීමට සමත්වී තිබේ. කඩොලාන වැවුණු කුඩා දුපත් සමූහයකින් මෙම කළපුව සමන්විත වේ.

පසුගිය දශක කිහිපයේදී මිනිස් ක‍්‍රියාකාරකම් නිසා කළපු ඉවුර දැඩි ඛාදනයකට ලක්වූ අතර කඩොලාන සහිත පාරිසරික පද්ධතියද විනාශවෙමින් තිබේ. මෙම ගැටලූව විසඳීමේ එක් කොටසක් ලෙස ‘කත්දුව’ පාදක කර ගනිමින් කොග්ගල කඩොලාන ප‍්‍රතිස්ථාපනය කිරීමේ සහ සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.

Views: 35