Warren Buffett ඩො. බිලියන 100ක වත්කම් හිමිකරුවන්ගේ ලැයිස්තුවට

ඇමෙරිකා එක්සත් ජනපදයේ Berkshire Hathaway Inc. සමාගමෙහි සභාපතිවරයා වන ලොව සුප්‍රසිද්ධ ආයෝජක Warren Buffett ගේ සමස්ත වත්කම් ප්‍රමාණය ඊයේ දිනයේදී ඩොලර් බිලියන 100ක් බවට පත් වූ බව ජාත්‍යන්තර ෆෝබ්ස් සඟරාව උපුටා දක්වන රොයිටර් පුවත් සේවය පවසයි.

ඒ අනුව මේ සමගම ඔහු ලොව ඩොලර් බිලියන 100ක වත්කම් සහිත ධනවතුන්ගේ ලැයිස්තුවටද ඇතුළත් වීමට සමත්ව සිටියි. මේ වනවිට එම ලැයිස්තුවට ඇතුළත්ව සිටින්නේ එලෝන් මස්ක්, ජෙෆ් බෙසොස් සහ බිල්ගේට්ස් යන ලොව ධනවතුන්ය.

මාර්තු මාසයේදී Berkshire Hathaway Inc. සමාගමෙහි කොටස් වටිනාකම් ක්‍රමයෙන් ඉහළ යාම මෙලෙස ඔහුගේ වත්කම් ප්‍රමාණය ඉහළ යාමට හේතු වී තිබේ. අද වනවිට එම සමාගමේ වටිනාකම ඩොලර් බිලියන 600ක් පමණ වන අතර, ඊයේ දිනයේදී එහි කොටසක වටිනාකම ඩොලර් ලක්ෂ 4ක් බවට පත්ව තිබේ. එය වසරේ මේ දක්වා කොටසක වටිනාකමේ 15%ක ඉහළ යාමකි.

Warren Buffett දශක කිහිපයක් පුරාම ලෝකයේ ධනවතුන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටීමට සමත් වුවත්, ඔහුට මේ දක්වාම සිය වත්කම ඩොලර් බිලියන 100ක් දක්වා වර්ධනය කරගැනීමට නොහැකි වූ බව විදෙස් මාධ්‍ය පවසයි. විශේෂයෙන්ම ඔහු  2006 වසරේදී සිය වත්කමෙන් ඩොලර් බිලියන 37ක් ප්‍රදානයන් ලෙස පුණ්‍යායතන වෙත ලබා දීම ඊට හේතු විය.

1965 වසරේදී Warren Buffett විසින් මිලදී ගන්නා අවස්ථාව වන විට Berkshire Hathaway සමාගම පාඩුලැබූ ඇගලුම් සමාගමක් බවට පත්ව තිබුණකි. එහෙත් ඔහු සිය කැපවීම හරහා එම සමාගම ලාභ ලබන තත්ත්වයට පත් කරගෙන ඇති අතර, අද වනවිට ඔහු සතුව ව්‍යාපාර 90කට වඩා පවතින බවත් සඳහන් වෙයි.

ජාත්‍යන්තර ෆෝබ්ස් සඟරාවට අනුව මේ වනවිට Warren Buffett ලොව පොහොසතුන්ගේ ලැයිස්තුවේ පස්වැනි ස්ථානයේ පසුවෙයි. එහි මුල් තැන ඇමසෝන් සමාගමේ ජෙෆ් බෙසොස් වෙතත්, දෙවැනි ස්ථානය ටෙස්ලා සමාගමේ ඉලෝන් මස්ක් වෙතත්, තෙවැනි ස්ථානය LVMH හි බර්නාඩ් ආර්නෝල්ට් සහ පවුල වෙතත්, සිව්වැනි ස්ථානය මයික්‍රොසොෆ්ට් සම නිර්මාතෘ බිල් ගේට්ස් වෙතත් හිමිව තිබේ.

Visits: 497