හේකාර්බ් පීඑල්සී රුපියල් 1.40 බැගින් ලාභාංශ ගෙවීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන හේකාර්බ් පීඑල්සී සමාගම සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා පැවැත්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ තීරණය ගෙන තබේ.

ඒ අනුව මෙහිදී නිකුත් කෙරී ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1.40 බැගින් ලාභාංශ ගෙවීමට සමාගම අදහස් කරගෙන සිටින බව පවසයි.

2020/21 මූල්‍ය වර්ෂය වෙනුවෙන් ලබා දෙන මෙම ලාභාංශ සිව්වැනි අතරමැදි ලාභාංශ ලෙසද හැඳින්වී තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවීම සිදුකරන දිනය ලෙස මාර්තු 24 වැනිදා නම් කෙරී ඇත. එසේම ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ලබන මාර්තු 17 වැනිදා නම් කෙරී ඇත.

මේ අතර හේකාර්බ් පීල්සී සමාගමේ මෙම ලාභාංශ ගෙවීම සඳහා කිසිදු ආකාරයක කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොවන බවත් සඳහන් වෙයි.

සුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට අයත් හේලීස් සමූහ ව්‍යාපාරයේ පරිපාලිත සමාගමක් ලෙස හේකාරාබ් පීඑල්සී මෙහෙයුම් සිදු කරයි.

කොළඹ කොටස් හුවමාරුවෙහි අවසන් ගනුදෙනු දිනය යෙදුණු පසුගිය සිකුරාදා දිනයේදී එහි කොටසක වටිනාකම රුපියල් 90.80ක් විය. එය පෙර දිනයේදී එහි කොටසක් වාර්තා කළ රුපියල් 86.10 ට සාපේක්ෂව රුපියල් 4.70ක එනම් 5.46%ක ඉහළ යාමකි.

Views: 348