මොණරාගල DAG ඇපරල් අගමැති අතින් විවෘත වෙයි

මොණරාගල DAG ඇඟලුම් කර්මාන්ත ශාලාව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (මාර්තු 06) දින පෙරවරුවේදී විවෘත වී තිබේ.

ඩී.ඒ.ජී ඇඟලුම් පෞද්ගලික සමාගම (DAG Apparel (Pvt) LTD) රුපියල් මිලියන 500ක මුදලක් ආයෝජනය කරමින් මෙම නව ඇඟලුම් කර්මාන්ත ශාලාව ස්ථාපිත කර ඇත.

මේ හරහා නිර්මාණය වී ඇති සෘජු රැකියා අවස්ථා ගණන 600කි. තවත් 3000ක පිරිසකට වක්‍ර ප්‍රතිලාභ හිමි වනු ඇතැයි සමාගම පවසයි.

නව ඇඟලුම් කර්මාන්ත ශාලාව ඔස්සේ නිමි ඇඳුම් අපනයනයෙන් වසරකට රුපියල් බිලියන 3.5ක ආදායමක් ලබා ගැනීම අපේක්ෂිතය.

පීත්ත පටිය කපමින් නව ඇඟලුම් කර්මාන්ත ශාලාව විවෘත කළ අග්‍රාමාත්‍යතුමා, එහි නිෂ්පාදන කටයුතු සිදුවන ආකාරය නිරීක්ෂණය කර තිබේ.

ඩී.ඒ.ජී ඇඟලුම් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ගාමිණී කීර්තිරත්න, අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන්වන දිනුක ශ්‍රීමාල්, නිපුණ ගිත්මල්, ශානිකා කාරියවසම්, සුනෙත් ගයාෂාන් මහත්වරු අග්‍රාමාත්‍යතුමා සමඟ නව ඇඟලුම් කම්හලේ නිරීක්ෂණ චාරිකාවට එක්ව ඇත.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, රාජ්‍ය අමාත්‍යවරුන්වන ශෂීන්ද්‍ර රාජපක්ෂ, විජිත බේරුගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන කුමාරසිරි රත්නායක, වෛද්‍ය ගයාෂාන් නවනන්ද, හිටපු ඇමතිනි සුමේධා ජී ජයසේන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහත්ම මහත්මීන් එක්ව සිට ඇත.

Visits: 74