රාජ්‍ය ඇමති කබ්රාල් ප්‍රමුඛ පෙළේ ආයෝජකයන් හමුවෙයි – නිමල් පෙරේරාගෙන් ස්තූතිය

මුදල්, ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊයේ මෙරට ප්‍රාග්ධන වෙළෙඳ පොළ තුළ සිටින ප්‍රමුඛ පෙළේ ආයෝජකයන් පිරිසක් හමුවී සාකච්ඡාවක නිරත වූ බව පවසයි.

මෙහිදී ඔවුන් අතර වර්තමානයේදී කොළඹ කොටස් හුවමාරුව තුළ පවතින අභියෝග සම්බන්ධයෙන් මෙන්ම එහි සංවර්ධනය සඳහා ඉදිරියේදී ගෙන ආ හැකි යෝජනා පිළිබඳවද සාකච්ඡා කෙරී තිබේ.

එසේම ඉදිරියේදී ආයෝජකයන් තුළ පවතින ගැටලු සම්බන්ධයෙන් ප්‍රශ්න විචාරාත්මක ආකාරයෙන් සිදු කරන සාකච්ඡා වට පැවැත්වීමටත් මෙම ආයෝජකයන් එකඟ වූ බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙම අවස්ථාව වෙත සහභාගි වී ඇති මෙරට මුල් පෙළේ ආයෝජකයෙකු වන නිමල් පෙරේරා මහතා ඒ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුම තුළ සඳහනක් තබමින්, රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩි අවධානය යොමු කළ කරුණු කිහිපයක් පිළිබඳව සඳහන් කර ඇත.

ඒ අනුව තැරැව්කාර සමාගම් මගින් සිදු කරන ණය ලබා දීම්, අලුතින් පිවිසි තනි පුද්ගල ආයෝජකයන් දැනුවත් කිරීම සහ ඔවුන් ආරක්ෂා කිරීම, රාජ්‍ය අරමුදල් තවදුරටත් කොටස් හුවමාරුව තුළ ආයෝජනය සඳහා දිරිමත් කිරීම මෙන්ම වෙළෙඳ පොළ කොටස්කරුවන් සමගින් නිරන්තර සංවාදයක් පවත්වා ගෙන යාම එම කරුණු වී තිබේ.

මෙම කරුණ සම්බන්ධයෙන් තවදුරටත් ට්විටර් ගිණුම හරහා අදහස් දක්වා ඇති නිමල් පෙරේරා මහතා, මෙවැනි අවස්ථාවක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයාට සිය ස්තූතිය පුද කර ඇත. එසේම මෙරට වෙළෙඳපොළ දිගුකාලීනව සාර්ථක ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය ශක්තිය රාජ්‍ය අමාත්‍යවරයාට ලැබේවායැයිද ඔහු ප්‍රාර්ථනා කර තිබේ.

Visits: 808