කැලනි වැලි ප්ලාන්ටේෂන්ස් රුපියල් 1ක බැගින් ලාභාංශ ගෙවීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි වැවිලි අංශයෙහි ලැයිස්තුගත සමාගමක් වන කැලනිවැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා පැවැත්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.

මෙහිදී සෑම ඡන්ද හිමි කොටසක් සඳහා රුපියලක් බැගින් ලාභාංශ ගෙවීමට තීරණය වී ඇත. මෙය දෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීම ලෙස සැලකෙන බවත්, 2020/2021 මූල්‍ය වර්ෂය වෙනුවෙන් මෙම ලාභාංශ ගෙවන බවත් සමාගම පවසයි.

ඒ අනුව ලාභාංශ ගෙවන දිනය ලෙස 2021 මාර්තු 26 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇත. එසේම ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස මාර්තු 17 වැනිදා නම් කෙරී තිබේ.

මේ අතර ඉහත සඳහන් කළ ලාභාංශ ගෙවීම සඳහා කැලනිවැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමේ කොටස් හිමිකරුවන්ගේ කිසිදු අනුමැතියක් අවශ්‍ය නොවන බවත් සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

කැලනිවැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමත් සුප්‍රසිද්ධ ව්‍යපාරික ධම්මික පෙරේරා මහතාට අයත් හේලීස් සමූහයේ පූර්ණ පරිපාලිත සමාගමකි. එම සමාගම යටතේ පැවැති සමාගම් රැසක්ම මේ වනවිට සිය ලාභාංශ ගෙවීම් නිකුත් කර ඇති අතර, වැවිලි සමාගම් අතරින් ලාභාංශ පිළිබඳ නිවේදනය කළ පළමු සමාගම වන්නේ කැලනිවැලි ප්ලාන්ටේෂන්ස් සමාගමයි.

ඊයේ දිනයේදී එම සමාගමේ කොටසක වටිනාකම රුපියල් 37.70ක් ලෙස සටහන්ව තිබූ අතර එය පෙර දිනයේ කොටසකට වාර්තා කළ රුපියල් 35.30 ට සාපේක්ෂව රුපියල් 2.40ක එනම් 6.80%ක වර්ධනයකි.

Views: 244