පෑන්ඒෂියන් පවර්හි නවතම සූර්ය විදුලි බලාගාරයෙන් වාර්ෂිකව රු.මි. 90ක ආදායමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන පෑන්ඒෂියන් පවර් පීඑල්සී සමාගම රුපියල් මිලියන 420ක ආයෝජනයකින් මාතරදී ඉදි කළ මෙගාවොට් 3ක පොළොව මත සවි කෙරෙන සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘතියේ විදුලි උත්පාදන කටයුතු ආරම්භ කර ඇතැයි එම සමාගම පවසයි.

බලශක්ති සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ ලංකා විදුලි බල මණ්ඩලය යන ආයතනවල මූලිකත්වයෙන් රට පුරා ක්‍රියාත්මක සූර්ය බල සංග්‍රාමයේ දෙවැනි අදියර යටතේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරී ඇත.

මෙහිදී එම ව්‍යාපෘතිය මගින් වාර්ෂිකව සිදු කරන පරිසර හිතකාමී විදුලිබල උත්පාදනය කිලෝවොට් පැය 6,150,000 කි. මෙය පුනර්ජනනීය නොවන ක්‍රමවේද හරහා බලශක්තිය උත්පාදනයේදී පිටවන කාබන් ඩයොක්සයිඩ් මෙට්‍රික් ටොන් 5,100 ක ප්‍රමාණයක් පිටවීම වළක්වා ගැනීමේ අවස්ථාවක් බවද සමාගම පවසයි.

එසේම රුපියල් මිලියන 420ක් වටිනා මෙම ආයෝජනයෙන් වාර්ෂිකව පෑන්ඒෂියන් පවර් පීඑල්සී සමාගම වෙත රුපියල් මිලියන 90ක ආදායමක් හිමි කරගත හැකි බවත් වැඩිදුරටත් සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පෑන්ඒෂියන් පවර් පීඑල්සී සමාගමේ සභාපති ආචාර්ය ප්‍රතාප් රාමනුජම් මහතා, “පිරිසිදු බලශක්ති විකල්පයන් අද වනවිට බලශක්ති ක්ෂේත්‍රය වෙනස් කිරීමකට ලක් කරමින් ජාතික විදුලිබල පද්ධතියේ විශාලතම දායකත්වය සපයන ප්‍රභවය බවට පත්වෙමින් තිබෙනවා. එහිදී ශ්‍රී ලංකාව තුළ මෙන්ම විදේශයන්හිද ක්‍රියාත්මක ප්‍රධානම සූර්ය බලශක්ති ව්‍යාපෘති කිහිපයක්ද සමගින්ම මෙම පරිවර්තනයේ ඉදිරියෙන්ම සිටීමට පෑන්ඒෂියන් පවර් පීඑල්සී සමාගමට හැකියාව ලැබී තිබෙනවා.” යනුවෙන් පවසා සිටියි.

අද වනවිට පෑන්ඒෂියන් පවර් පීඑල්සී සතුව මෙගාවොට් 6ක ධාරිතාවකින් යුත් සූර්ය බලශක්ති ව්‍යාපෘති කිහිපයක්ම පවතින බවත් ජල විදුලිබල ව්‍යාපෘතිද ඇතුළුව මෙම ධාරිතාව මෙගාවොට් 14ක් බවත් පවසයි. එසේම මෙම අලුතින් වැඩ නිම වුණු මාතර සූර්ය විදුලි බලාගාරය හරහා එකතු වන මෙගාවොට් 3ක ධාරිතාවත් සමගින් සමාගම සූර්ය බලශක්ති ක්ෂේත්‍රය තුළ සිය ශක්තිය තවදුරටත් පුළුල් කරගැනීමට කටයුතු කරන බවත් වැඩිදුරටත් සඳහන් කරයි.

Views: 722