රෝයල් සෙරමික්ස් ලංකා නිර්මාතෘ සමාගමේ තමන් සතු කොටස් විකිණීමක

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ටයිල් නිෂ්පාදන සමාගමක් වන රෝයල් සෙරමික්ස් ලංකා සමාගමේ උප සභාපතිවරයා වන අමරකෝන් මුදියන්සේලාගේ වීරසිංහ මහතා එම සමාගම තුළ තමන් සතුව තිබූ කොටස් විකිණීමක් සිදු කර ඇතැයි පවසයි.

සමාගම සඳහන් කරන ආකාරයට පසුගිය පෙබරවාරි 24 වැනිදා මෙම අලෙවි කිරීම සිදු ව තිබේ. එහිදී කොටසක් රුපියල් 280 බැගින් කොටස් 20,000ක්, රුපියල් 279 බැගින් කොටස් 24,000ක් සහ රුපියල් 278 බැගින් කොටස් 7,877ක් ඔහු මෙලෙස අලෙවි කර ඇත. මෙම අලෙවියේ සමස්ත වටිනාකම රුපියල් 14,485,806 කි.

2020 මාර්තු 31 වැනිදා වනවිට ඒ මහතා සතුව ඇති රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී කොටස් ප්‍රමාණය 862,401 ක් විය.

1990 දශකයේදී අමරකෝන් මහතාගේ මුලිකත්වයෙන් රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී සමාගම පිහිටවුණි. වෘත්තියෙන් මැණික් ව්‍යාපාරිකයෙකු වන වීරසිංහ මහතා වසර 35කට අධික කාලයක් විවිධ ව්‍යාපාරයන්හි නියැලී ඇත. එහිදී දේපළ වෙළෙඳාම්, ඉදිකිරීම් සහ ප්‍රවාහන මෙන්ම රෝහල් ක්ෂේත්‍රයටද ඔහු මුදල් ආයෝජනය කර තිබේ.

අද වනවිට රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී සමාගම ධම්මික පෙරේරා මහතාගේ වැලිබල් වන් පීඑල්සී සමාගමට අයත් වෙයි.

2017 වසරේදී ඒ මහතා රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී සමාගමට අමතරව, ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී සමාගම, ලංකා ටයිල්ස් පීඑල්සී සමාගම යනාදියේ උප සභාපතිවරයා ලෙස පත් කෙරිණි.

ඒ වන විටත් වීරසිංහ මහතා සිංහ හෝස්පිටල්ස් පීඑල්සීහි මෙන්ම වීරසිංහ ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් (පෞද්) සමාගමේ නිර්මාතෘවරයා මෙන්ම සභාපතිවරයාද විය.

මේ අතර වීරසිංහ මහතා වැලිබල් වන් පීඑල්සී වෙත අයත් ලංකා ටයිල්ස් පීඑල්සී මෙන්ම ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී යන සමාගම්වලද උප සභාපතිවරයා ලෙස කටයුතු කරයි. එසේම එම සමාගම් දෙකෙහිද කොටස් හිමිකාරීත්වයක් ඒ මහතා සතුව පවතී.

ඒ අනුව එම සමාගම් තුළ තිබූ කොටස් කිහිපයක්ද වීරසිංහ මහතා විසින් පසුගියදා අලෙවි කර තිබේ. ඒ අනුව පෙබරවාරි 24 වැනිදා ලංකා ටයිල්ස් පීඑල්සීහි කොටස් 2,253ක් කොටසක් රුපියල් 200.00 බැගින්ද, පෙබරවාරි 25 වැනිදා කොටසක් රුපියල් 197.00  බැගින් කොටස් 7,000ක්ද ඒ මහතා අලෙවි කර තිබේ. මීට අමතරව වීරසිංහ මහතා විසින් ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී තුළ තිබූ සිය කොටස් 39,205ක් අලෙවි කර ඇත.

Visits: 1599