දේශීය මෝටර් රථ හා මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදනය සඳහා සම්මත මෙහෙයුම් පටිපාටියක් ළඟදීම

මෝටර් රථ හා මෝටර් රථ අමතර කොටස් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීම සඳහා ලෝ සුප්‍රකට සන්නාම දිරිගැන්වීම සඳහා සම්මත මෙහෙයුම් පටිපාටියක් ගරු විමල් වීරවංශ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍යංශය විසින් ළඟදීම එළිදැක්වීමට නියමිතව ඇතැයි බව ශ්‍රී ලංකා මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

එහිදී මෙම නව සම්මත මෙහෙයුම් පටිපාටිය ලොව ඉහලම ප්‍රමිතීන්ට අනුව සකස්කොට ඇති බව ශ්‍රී ලංකා මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදකයින්ගේ සංගමයේ (SLACMA) සභාපති, දිමන්ත ජයවර්ධන පවසයි.

“මුදල් අමාත්‍යංශය, ශ්‍රී ලංකා රේගුව, මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකාවේ මෝටර් රථ එකලස් කරන්නන් හා මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදකයින් හා සමග සමීපව ක්‍රියා කරමින් කර්මාන්ත අමාත්‍යංශයේ ප්‍රතිපත්ති සංවර්ධන අංශය විසින් මෙම සම්මත මෙහෙයුම් පටිපාටිය සැලසුම් කොට ඇත.මෙය දියත් කිරීමත් සමග ඊට අනුකුලව ක්‍රියා කිරීම අනිවාර්ය වන අතර, එමගින් දේශීයව නිෂ්පාදනය කරන මෝටර් රථ සඳහා වැඩි අගයක් එකතු වනවා.”

දේශීය මෝටර් රථ එකලස් කිරීම සඳහා ද, මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවේ, ආයෝජන මණ්ඩලයේ, ශ්‍රී ලංකා රේගුවේ හා කර්මාන්ත අමාත්‍යංශයේ ලියාපදිංචි කිරීම සඳහා ද, උපදෙස් හා ප්‍රමිතීන් මෙම සම්මත මෙහෙයුම් පටිපාටියේ අඩංගු වේ.මෝටර් රථ හා අමතර කොටස් ප්‍රමිතීන් අනුව එකලස් කිරීම සහ නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය රෙගුලාසි ද, ඒවා ඇගයීම සඳහා අවශ්‍ය පහසුකම් ද, එහි සඳහන් කොට ඇත.

“මෙම ඉලක්කය කරා යාම සඳහා මූලිකව දේශීය වෙළඳපොල තුළ වර්ධනය වීමට අවස්ථාවක් ලබා දීම අත්‍යවශ්‍ය බව මෙම සම්මත මෙහෙයුම් පටිපාටිය තුළ පැහැදිලිව සඳහන් කොට තිබෙනවා. එම අරමුණ ඉටුකර ගැනීම පිණිස දේශීයව නිෂ්පාදනය කළ අමතර කොටස්වල ප්‍රමිතිය ජාත්‍යන්තර මට්ටමට එසවීමට හා රට තුළ ඉල්ලුමක් ඇති කිරීමට, දේශීය අගය වැඩි කළ මෝටර් රථ නිෂ්පාදන හා එකලස් කිරීමේ කර්මාන්තය සඳහා සැළකිය යුතු ආයෝජනයක් කළ යුතු වනවා,” යයිද ජයවර්ධන මහතා කියා සිටියේය.

“කර්මාන්තයක් ලියාපදිංචි කිරීමේ සිට කර්මාන්තයේ ආරක්ෂණ හා තත්ත්ව ප්‍රමිතීන් පිළිබඳව විවිධ පැතිකඩ වලට අදාළ සියළු රෙගුලාසි, ක්‍රමවේද සහ අවශ්‍යතා මෙම සම්මත මෙහෙයුම් පටිපාටිය තුළ අඩංගු වනවා. ඒ පමණක් නොවෙයි, ඒවා වසර පහකට වරක් නැවත ඇගයීමකට ලක් කරනවා. මුල් වසර දෙකේදී ආයෝජනය යොදා මෙහෙයුම් ආරම්භ කොට වසර දෙකක කාල පරාසයක් තුළ මෙම සම්මත මෙහෙයුම් පටිපාටියට අනුකූල වීමට එම දේශීය කර්මාන්තකරුවන්ටඅවස්ථාව දිය යුතුයි,” යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය.

“ඉදිර වසර 2 – 3 කාලයේදී සෘජුව රැකියා විසිදාහකුත්, වක්‍රව රැකියා විසිපන්දාහකුත් උත්පාදනය වන බව අපේ බලාපොරොත්තුවයි. NAITA සහ ජර්මන් ටෙක් ආයතනය එකතුව, එම ආයතනවල සිසුන් දේශීය එකලස් කිරීමේ ව්‍යාපාර වලට බඳවා ගැනීම සඳහා දැනට SLACMA සංවිධානය නිපුනතා සංවර්ධන අමාත්‍යංශය සමග ක්‍රියා කරනවා.”

“මෝටර් රථ දේශීයව එකලස් කිරීම තුළින් තාක්‍ෂණය මෙරටට හිමි වන අතර, ලොව ඇති හොඳම නිෂ්පාදන තාක්‍ෂණ ප්‍රමිතීන්යොදා තාක්ෂණික පුහුණුවක් ලබා ගැනීමට මෙරට ශ්‍රමිකයින්ට හැකි වනවා. Just In Time, 5S, KAISEN, LEAN Manufacturing, IATF 16949 හා Six SIGMA යන ප්‍රමිතීන්ට අනුකූල නිෂ්පාදන ක්‍රියාවලි යොදා ගැනීමට අප සිසුන්ට හැකි වන අතර, ඒවා වෙනත් නිෂ්පාදන කර්මාන්තයන්ට ද යොදා ගැනීමට හැකි වනවා.” ශ්‍රී ලංකා මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදකයින්ගේ සංගමයේ (SLACMA) සභාපති, දිමන්ත ජයවර්ධන පවසයි.

මේ අතර ශ්‍රී ලාංකීය නිපැයුම් හා සේවාවල අගය වැඩි කොට එතුළින් දේශීය කම්කරුවන්ගේ නිපුනතා මට්ටම නැංවීම පිළිබඳව ජනාධිපතිතුමන්ටද ප්‍රසංසා කරන බව සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියි.

Views: 130