කොටස් අතුරු බෙදීමෙන් සම්පත් බැංකුවේ කොටස් තුන් ගුණයකින් වැඩි වෙනවාලු
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මෙරට මුල් පෙළේ බලපත්‍ර ලාභී වාණිජ බැංකුවක් වන සම්පත් බැංකුව දැනට නිකුත් කර ඇති සිය සාමාන්‍ය කොටස් අතුරු බෙදීමක් සිදු කරමින් බැංකුව සතු නිකුත් කළ කොටස් ප්‍රමාණය තුන් ගුණයකින් වර්ධනය කරගැනීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.
ඊයේ (ජනවාරි 27) දිනයේදී පැවැති එම බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මෙම කොටස් අතුරු බෙදීම පිළිබඳව තීරණය ගෙන තිබේ. ඒ අනුව මෙහිදී බැංකුව නිකුත් කර ඇති සෑම සාමාන්‍ය කොටසක්ම මෙහිදී තවත් කොටස් තුනකට බෙදීම සිදු කෙරෙන බව බැංකුව පවසයි.
දැනට බැංකුව මගින් නිකුත් කර ඇති සාමාන්‍ය කොටස් සංඛ්‍යාව 381,457,985 කි. මෙම කොටස් අතුරු බෙදීමත් සමගින්ම බැංකුවේ කොටස් සංඛ්‍යාව 1,144,373,955ක් දක්වා ඉහළ යයි.
කෙසේ වෙතත් මෙහිදී බැංකුවෙහි ප්‍රකාශිත ප්‍රාග්ධනය වෙත මෙම අතුරු බෙදීමෙන් කිසිදු බලපෑමක් එල්ල නොවන බවත් එය එලෙසින්ම වන බවත් බැංකුව සඳහන් කරයි.
එසේම මෙම කොටස් අතුරු බෙදීම පිළිබඳ තීරණය කොළඹ කොටස් හුවමාරුව මගින් අනුමත කළ යුතුව තිබෙන බවත් ඉදිරියේදී පැවැත්වෙන බැංකුවේ මහා සමුළුවකදී එහි කොටස්හිමිකරුවන්ගේ අනුමැතිය ලබා ගත යුතුව තිබෙන බවත් සම්පත් බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
සම්පත් බැංකුවේ වැඩිම කොටස් හිමිකාරීත්වය පවතින්නේ මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහාතට අයත් වැලිබල් වන් පීඑල්සී සමාගමයි. මෙම සමාගම යටතේ පවතින එල්බී ෆිනෑන්ස් සමාගමද ඊයේ දිනයේදී සිය සාමාන්‍ය කොටස් 1 ට නව කොටස් 4ක් ලෙස කොටස් අතුරු බෙදීමක් නිවේදනය කර තිබුණි.
මේ අතර පසුගිය 21දා ධම්මික පෙරේරා මහතාට අයත් හේලීස් සමූහය සහ වැලිබල් ෆිනෑන්ස් සමූහය යටතේ පවතින තවත් සමාගම් 14ක් ද කොටස් අතුරු බෙදීම් නිවේදනය කර තිබේ.
අමායා ලෙෂර් පීඑල්සී සමාගම, කිංග්ස්බරි පීඑල්සී, සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී, සිංගර් ඉන්ඩස්ට්‍රීස් (සිලෝන්) පීඑල්සී, යුනිසිස්ට් ඉන්ජිනියරිං පීඑල්සී, කැලනි වැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී, තලවාකැලේ ටී එස්ටේට්ස් පීඑල්සී, රෙග්නිස් (ලංකා) පීඑල්සී, ඇලුමෙක්ස් පීඑල්සී, ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී, හේලීස් ෆයිබර් පීඑල්සී, හේලීස් ෆැබ්රික් පීඑල්සී, හේකාර්බ් පීඑල්සී, හේලීස් පීඑල්සී එම සමාගම් වෙයි.
මෙම කොටස් අතුරු බෙදීම් නිවේදනය කිරිමත් සමගින්ම අදාළ සමාගම්වල කොටස් වටිනාකම්ද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

Hits: 810