CSE හි වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණයෙන් JKH පරදා LOLC අංක 01 වෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි (CSE) ලැයිස්තුගත සමාගම් අතරින් වැඩිම වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණයක් හිමි සමාගම් අතර පළමු තැනට පත්වීමට LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම ඊයේ (ජනවාරි 27දා) සමත් විය.

වෙළෙඳ පොළ ගනුදෙනු වාර්තා කරන ආකාරයට ඊයේ දිනයේදී LOLC සමාගමේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 246.69ක් බවට පත්විය. එය පසුගිය අඟහරුවාදා දිනයට සාපේක්ෂව රුපියල් බිලියන 49.39ක ඉහළ යාමකි.  

ඊයේ දිනයේදී LOLC කොටසක වටිනාකම රුපියල් 521.25ක් දක්වා රුපියල් 104 කින් එනම් 25%ක ප්‍රතිශතයකින් වර්ධනය වීමත් සමගින්ම මෙම තත්ත්වය උදා වී තිබේ. ඒ අනුව මෙතෙක් කොටස්  හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් අතරින් ඉහළම වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණයක් සහිත සමාගම් අතර මුල් තැන සිටි ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගම දෙවැනි තැනට පත් කරමින් LOLC මුල් තැනට පත්ව ඇත.

ඊයේ දිනයේදී ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 225.8ක් විය. එහිදී සමගමේ කොටසක වටිනාකම රුපියල් 1.50කින් පහත බැස දිනය නිමාවේදී එය රුපියල් 171.25ක් බවට පත්වීම ඊට හේතු විය.

එසේම තෙවැනි ස්ථානයේ පසුවන සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී සමාගම සතු වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 208.3 කි. එහිදී සමාගමේ කොටසක මිල ඊයේ දිනයේදී රුපියල් 1,112ක් දක්වා රුපියල් 9කින් ඉහළ නැග ඇත.

ඒ අනුව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගම වෙත පළමු ස්ථානය අහිමි වූ දෙවැනි අවස්ථාවද මෙය බව ඒ සම්බන්ධයෙන් පුවත් පත් වාර්තාවක් ගෙන එන ඩේලි එෆ්ටී පුවත්පතද සඳහන් කරයි. මීට පෙරදී සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී සමාගමද ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී පසුකර මුල් තැනට පත්ව තිබේ.

කොළඹ කොටස් හුවමාරුවෙහි දත්ත අනුව LOLC සමාගම ජනවාරි මාසයේ මේ දක්වා කාලය තුළදී සිය වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 183.4කින් වර්ධනය කරගැනීමට සමත්ව ඇත. 2020 වසර අවසන් වනවිට එම සමාගමේ වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 64ක් වූ අතර දර්ශකයේ අටවැනි ස්ථානයේ පසුවිය.

Visits: 256