රුපියල අවප්‍රමාණය වැළැක්වීමට මහ බැංකුව දුන් නිර්දේශ ආයෝජකයන්ටත් බලපායි

පිට පිට දින තුනක් ඉහළ ගිය සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද (ජනවාරි 26) දිනයේදී යම් පහත වැටීමක් පෙන්නුම් කෙරිණි. එහිදී මූලිකවම විදේශ විනිමය වටිනාකම් පාලනය සඳහා මහ බැංකුව නිකුත් කළ නිර්දේශ නිසා රුපියලේ වටිනාකම වෙත එල්ල වූ බලපෑම නිසා ආයෝජකයන් තුළ පෙන්නුම් කළ පසුගාමී තත්ත්වය මේ සඳහා හේතුවූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එසේම මාසය අවසානයේදී ආයෝජකයන් ලාභ අත්කරගැනීම් වෙත යොමු වීමද දර්ශක අගයන් පහත වැටීමට හේතු වූ බවත් එම සමාගම් සඳහන් කරයි.  

ඒ අනුව අද දිනයේදී ඒකක 8,623.05ත් ඒකක 8,798.38 ත් අතර අගයක විචලනයක් පෙන්වූ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI)  දිනය නිමා වනවිට ඒකක 8,665.82 ක් බවට පත්විය. එය ඊයේ (ජනවාරි 25) දිනයට සාපේක්ෂව ඒකක 28.53 ක් එනම් -0.33%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව කොමර්ෂල් බැංකුව, එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී, හැටන් නැෂනල් බැංකුව, ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී යන සමාගම් තුළ සිදු වූ ගනුදෙනු දිනයේ පිරිවැටුම සඳහා 2%ක දායකත්වයක් ලබා දී තිබේ.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 79ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 133ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ජෝන් එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+39.13), රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී RCL (+12.29), වැලිබල් වන් පීඑල්සී VONE (+7.46), ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී DIPD (+5.65), කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී CARG (+3.09),  ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-25.64),  කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (-10.0),  සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී  CTC (-7.28), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (-5.31),  මෙල්ස්ටාකෝර්ප් MELS (-4.8)

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,504.05 ක අගයක් ගත් අතර, එය ඊයේ (ජනවාරි 25) දිනයට සාපේක්ෂව ඒකක 3.23 ක එනම් +0.09%ක ඉහළ යාමක් වාර්තා කිරීමට සමත්ව තිබේ.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 11.44ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ජනවාරි 25දා) වාර්තා කළ රුපියල් බිලියන 14.99ට සාපේක්ෂව 24% ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.8ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 27.95%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 252.4ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 442.74ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 190.34කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 4.88ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 79.02කි. එසේම  හැටන් නැෂනල් බැංකුව (ඡන්ද හිමි) විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 75.16ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  මිලියන 2,774ක් සඳහා ප්‍රාග්ධණ භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 24% ක අගයක් ගෙන තිබේ. නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් යන අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 2,197ක සහ රුපියල් මිලියන 2,086 ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Views: 649