සන්ෂයින් හෝල්ඩිංග්ස් පිහිට වූ මෙරට ප්‍රථම Metered-Dose ඉන්හේලර් කර්මාන්තශාලාවේ මෙහෙයුම් අරඹයි

විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි හෙල්ත්කෙයාර් හස්තය වන සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා සමාගමේ (SHL) අනුබද්ධිත සමාගමක් වන ලීනා ස්පයිරෝ පුද්ගලික සමාගම (Lina Spiro (Pvt) Ltd), ශ්‍රී ලංකාවේ ප්‍රථම Metered-Dose ඉන්හේලර් (MDI) නිෂ්පාදන කර්මාන්තශාලාව ලෙස සිය මෙහෙයුම් කටයුතු අද දින කර්මාන්තශාලාව පිහිටි කඩවත ප්‍රදේශයේදී නිල වශයෙන් ආරම්භ කළේය.

ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා අතින් මෙම කර්මාන්තශාලාව උත්සවාකාරයෙන් විවෘත වූ අතර මෙම අවස්ථාවට සන්ෂයින් හෝල්ඩින්ග්ස්, අක්බාර් බ්‍රදර්ස්, ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA), රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) සහ වෙනත් රාජ්‍ය හා පුද්ගලික සුව සේවා ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු අමුත්තන් රැසක් සහභාගී විය.

අති නවීන පහසුකම්වලින් සමන්විත මෙම කර්මාන්තශාලාව සතුව සුදුසුකම්ලත් හා අත්දැකීම් සපිරි කාර්ය මණ්ඩලයක් සේවය කරයි- ශ්වසනය සම්බන්ධ නිෂ්පාදන පෙළක් මෙහි නිෂ්පාදනය කෙරෙන අතර GMP සහතිකය ලත් ශ්‍රී ලංකාවේ එකම Metered-Dose ඉන්හේලර් (MDI) නිෂ්පාදනය කරන කර්මාන්තශාලාව මෙය වෙයි. වසර දහයකට වැඩි කාලයක් පුරා මෙම ක්ෂේත්‍රයේ නියැලී සිටින ලීනා මැනුෆැක්චරින් පුද්ගලික සමාගමේ (Lina Manufacturing Pvt Ltd) නවතම ඖෂධ කර්මාන්තශාලාව වන්නේ ලීනා ස්පයිරෝ සමාගමයි. ලීනා මැනුෆැක්චරින් පුද්ගලික සමාගම යනු රජයට සහ පුද්ගලික අංශයට විවිධාකාරයේ ශ්වසනය සම්බන්ධ නිෂ්පාදන මහා පරිමාණයෙන් සපයනු ලබන සාර්ථක දේශීය ඖෂධ නිෂ්පාදන සමාගමකි. පේටන්ට් බලපත්‍රය හිමි සමාගමේ ශ්වසනය සම්බන්ධ ඉන්හේලර් උපකරණය ද සමඟින් මෙරටට අවශ්‍ය ශ්වසනය සම්බන්ධ නිෂ්පාදන වැඩිදියුණු කිරීමෙහිලා ප්‍රමුඛයෙකු ලෙස ලීනා සමාගම සැලකෙන අතර තවත් නිෂ්පාදන හඳුන්වා දීම සඳහා සමාගමේ පර්යේෂණ සහ සංවර්ධන (R&D) කටයුතු සඳහා සැලකිය යුතු ආයෝජන අඛණ්ඩව සිදු කරයි. ඖෂධ සැකසීම හා ඇසුරුම්කරණය සඳහා වන ස්වයංක්‍රීය යන්ත්‍ර නිෂ්පාදනය කරන ලොව ප්‍රමුඛ පෙළේ සමාගමක් වන ඉතාලියේ IMA සමූහයේ නවතම යුරෝපීය බෙහෙත් නිෂ්පාදන පෙළක් සඳහා ලීනා මැනුෆැක්චරින් සැලකිය යුතු ආයෝජනයක් සිදු කොට ඇත.

2020 දෙසැම්බර් මාසයේදී සන්ෂයින් හෝල්ඩින්ග්ස් විසින් සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා හා හෙල්ත්ගාර්ඩ් ඔසුසැල් ජාලයෙන් සමන්විත සිය ව්‍යාපාරය සහ අක්බාර් හෙල්ත්කෙයාර් හි ව්‍යාපාරික ඒකක වන අක්බාර් ෆාමසූටිකල්ස්, ලීනා මැනුෆැක්චරින් හා ලීනා ස්පයිරෝ සමඟ උපායමාර්ගික ඒකාබද්ධතාවයක් නිවේදනය කළේය. මෙම ඒකාබද්ධතාවය අනුමත වීම මගින් පාරිභෝගික සෞඛ්‍යාරක්ෂණ නිෂ්පාදන නිපද වීමේ සිට දිවයින පුරා සිදු කරන අවසන් බෙදා හැරීම දක්වා වන අංශ පහකින් සර්ව සම්පූර්ණ වූ ශ්‍රී ලංකාවේ පළමු සුව සේවා සමාගම බවට සන්ෂයින් හෙල්ත්කෙයාර් පත් වනු ඇත. ඒ අනුව පර්යේෂණ හා සංවර්ධන (R&D), නිෂ්පාදනය, ආනයනය, බෙදා හැරීම හා පාරිභෝගික යන සුව සේවා සැපයුම් ජාලය සඳහා අවශ්‍ය සියලුම අංශ ආවරණය කරමින් සමාගම දැන් ක්‍රියාත්මක වනු ඇත.

මෙම අවස්ථාව පිළිබඳ අදහස් දක්වන සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍යාම් සතාසිවම් මහතා “නිෂ්පාදනයේ සිට බෙදා හැරීම දක්වා වූ සියලු අංශවලින් සමන්විත ශ්‍රී ලංකාවේ පළමු සුව සේවා සමාගම බවට සන්ෂයින් හෙල්ත්කෙයාර් පත් වීම ඇත්තෙන්ම විශේෂ සන්ධිස්ථානයක්. මෙම ඒකාබද්ධතාවය මගින් රජයේ අරමුණුවලට අනුකූලව අපගේ නවතම නිෂ්පාදන හැකියාවන් සැලසුම් කර ගැනීමට උපකාරී වනු ඇතැයි අප විශ්වාස කරනවා. එමගින් මෙරට සිටින දක්ෂ තරුණ කණ්ඩායම්වලට විශේෂඥතාවයෙන් යුතු රැකියා අවස්ථා ලබා දීම සඳහා ශක්තිමත් වේදිකාවක් නිර්මාණය කරන අතරම රටේ ඖෂධ ආනයනය අවම කිරීමට ද උත්සාහ කරනු ඇත.”

ජාතික ආර්ථිකයට තීරණාත්මක දායකත්වයක් ලබා දෙන ඖෂධ ක්ෂේත්‍රය සඳහා ආයෝජනය කිරීමට ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගම් දෙකක් එක්ව කටයුතු කිරීමත් සමඟ මෙම ඒකාබද්ධතාවය මගින් රටේ ඖෂධ නිෂ්පාදන ධාරිතාවය ද ඉහළ නංවනු ඇත. තවද ඔවුන්ගේ ව්‍යාපාරික ශක්තීන් එක් කිරීමෙන් ඒකාබද්ධ වූ මෙම ව්‍යාපාරයට තවදුරටත් නිෂ්පාදන ධාරිතාවය ගොඩනැංවීමට මෙන්ම දැනට පවතින හා නව ඖෂධ සංයෝග සංවර්ධනයට හා නිෂ්පාදන පරිමාව වැඩි කිරීමට ද කලාපීය ඖෂධ සමාගම් අතර තාක්ෂණය හුවමාරු කර ගැනීමට පෙළෙඹ වීම ද අතිගරු ජනාධිපතිතුමාගේ ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ අනුව දේශීය ඖෂධ නිෂ්පාදනය සමස්තයක් ලෙස ඉහළ නැංවීමට ද හැකි වනු ඇත.

Visits: 322