2020 දී චීනයේ දළ ජාතික නිෂ්පාදනය යුආන් ට්‍රිලියන 100ක් (ඩො.ට්‍රි.15ක්) ඉක්මවලා

පසුගිය 2020 වසරේදී චීනයේ දළ ජාතික නිෂ්පාදනයේ (GDP) වටිනාකම යුආන් ට්‍රිලියන 100ක් (එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 15.42ක්) ඉක්ම වූ බව එරට ජාතික සංඛ්‍යාලේඛන බියුරෝව සඳහන් කරයි. සඳුදා (18 දා) චීනයේ බීජිං නුවරදී පැවැත්වුණු මාධ්‍ය හමුවකදී එම කාර්යාංශයේ ප්‍රධානී නින්ග් ජිස්හේ විසින් මෙම කරුණු අනාවරණය කරන ලදී.

අලුත්ම දත්ත අනුව 2020 වසරේදී චීනයේ දළ ජාතික නිෂ්පාදනය යුආන් ට්‍රිලියන 101.5986ක් ඉක්මවා තිබේ. එය 2019 වසරට සාපේක්ෂව 2.3%ක වර්ධනයකි. විශේෂයෙන්ම නව කොරෝනා වසංගතයෙන් පිඩා විඳි පසුගිය වසර තුළදී මෙවැනි ආර්ථික වර්ධනයක් අත්පත් කරගත් ලොව ප්‍රධාන ආර්ථිකයක් බවටද චීනය පත්ව ඇතැයි චීන මාධ්‍ය සඳහන් වෙයි.

ඒ අනුව, 2019 දී චීනයේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදනය එරට ඉතිහාසයේ පළමුවරට එක්සත් ජනපද ඩොලර් 10,000ක් ලෙස වාර්තා කිරීමෙන් අනතුරුව  එරට ආර්ථිකය ළඟා කරගත් කැපී පෙනෙන අවස්ථාවක් බවටද මෙය පත්ව ඇතැයිද සංඛ්‍යාලේඛන කාර්යාංශයේ ප්‍රධානියා මෙහිදී වැඩිදුරත් සඳහන් කර තිබේ.

එසේම ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකය ලෙස, පසුගිය වසරේදී චීනය දුප්පත්කම තුරන් කිරීමේ ජයග්‍රහණයද හිමි කරගැනීමට සමත්ව ඇතැයිද පවසයි. ඒ හරහා සෑම අතින්ම සෞභාග්‍යය ළගා කරගත් සමාජයක් බිහි කිරීම සඳහා වන ඓතිහාසික සාර්ථකත්වයකට පත් වීමටද චීනයට හැකියාව ලැබී තිබේ.

චීනයේ මෙම ආර්ථික ජයග්‍රහණයන් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ ප්‍රධානී නින්ග් ජිස්හේ, “මේ සාර්ථකත්වයන් මගින් චීනයේ ආර්ථික, විද්‍යාත්මක මෙන්ම තවත් දැවැන්ත පියවර සඳහා වන සුවිශේෂී ශක්තිමත් බවත් පෙන්නුම් කරනවා.” යනුවෙන් පවසා තිබේ.

දැනට වසර 20කට පෙරාතුව යුආන් ට්‍රිලියන 10කින් වර්ධනය වුණු චීනයේ මෙම ආර්ථිකය අද වනවිට සමස්ත ගෝලීය ආර්ථිකයෙන් 17%ක ප්‍රතිශතයකට හිමිකම් කියන බවද ප්‍රධානියා පවසා සිටියි. එහිදී විශේෂයෙන්ම ධාන්‍ය නිෂ්පාදන, කාර්මික නිෂ්පාදන, අධිවේගී දුම්රිය මාර්ග ඉදිකිරීම මෙන්ම 5G තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක්ම මෙම ආර්ථිකයේ සෞභාග්‍ය සඳහා දායකත්වය ලබා දුන් බවද ප්‍රධානියා පවසා ඇත.

මේ අතර 2020 වසරේදී චීනයේ ඒක පුද්ගල ආදායම යුආන් 32,189 කින් එනම් පෙර වසරට සාපේක්ෂව 2.1%ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇත. එය මූලිකවම දළ ජාතික නිෂ්පාදනයේ වර්ධනයත් සමගම සිදුව තිබෙන බව කාර්යාංශයේ දත්ත පවසයි. එසේම 2020 වසර තුළදී චීනය තුළ අලුතින් නගර ආශ්‍රිතව රැකියා අවස්ථා මිලියන 11.86ක්ද බිහි වී තිබේ. එය 2019 වසරේදී බිහි වූ රැකියා ප්‍රමාණයට සාපේක්ෂව 131.8%ක ප්‍රතිශතයක වර්ධනයකි.

ඒ අනුව චීනය අදටත් ලෝකයේ විශාලතම සංවර්ධනය වෙමින් පවතින රට බවට පත්ව තිබෙන බවත්, රටෙහි ඒක පුද්ගල  දළ ජාතික නිෂ්පාදිතය ගෝලීය සාමාන්‍ය අගයට වඩා පහළ මට්ටමකින් පවතින බවත් ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ ප්‍රධානියා පවසයි. එසේම ලෝකයේ ප්‍රධාන සංවර්ධිත රාජ්‍යයන් හි ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය හා සාපේක්ෂවද චීනයේ අගයන් අතර යම් පරතරයක් පවතී.

ඒ අනුව මෙහි ඉදිරි අනාගතය ලෙස චීනය සිය දළ ජාතික නිෂ්පාදිතය වසර 2035 වන විට ලෝකයේ සංවර්ධිත රාජ්‍යයන්ගේ මට්ටමට පත් වීම අපේක්ෂාව වී තිබෙන බවත් චීනයේ කොමියුනිස්ට් පක්ෂය මගින් 2021-2025 වසර සඳහා ඉදිරිපත් කර ඇති 14 වැනි පස් අවුරුදු යාන්ත්‍රණයේ මෙන්ම දිගු-කාලීන ඉලක්ක අතර වන බවත් පැවසෙයි.

මේ අතර ලෝක බැංකු සමූහයද මෙම මාසය මුලදී නිවේදනයක් නිකුත් කරමින් 2021 වසරේදී චීන ආර්ථික වර්ධනය 7.9%ක ප්‍රතිශතයක් ගනු ඇති බවත්, ලෝකයේ ආර්ථික  වර්ධනය 4%ක ප්‍රතිශතයක් ගනු ඇති බවත් සඳහන් කර තිබුණි.

Views: 97