අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් කර්මාන්තශාලාව ලබන 14දා විවෘත වෙනවාලු

අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් කර්මාන්තශාලාව ලෙස  හොරණ වගවත්ත අපනයන සැකසුම් කලාපයේ පිහිටුවා ඇති ෆොරෙන්ටිනෝ ටයර් (පෞද්) සමාගම ලබන ජනවාරි 14 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විවෘත කරන බව එම සමාගම පවසයි.

එම සමාගමේ සභාපති නන්දන ලොකුවිතාන මහතා විසින් මේ බව අනාවරණය කර සිටියි. මෙම ව්‍යාපෘතියේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 250ක් වන අතර ඒ හරහා මෙරට අපනයනය ආර්ථිකය ශක්තිමත් කිරිම මෙන්ම දහස් ගණනාවකට නව රැකියා අවස්ථා බිහිකිරීමටද හැකියාව පවතින බව සභාපතිවරයා පවසයි.

මෙම ටයර් කර්මාන්තශාලාවේ දෙවැනි අදියර මේ වනවිටත් ඉදිකෙරෙමින් පවතින අතර එය ලබන මාර්තු මාසයේදී පමණ ආරම්භ කිරීම සැලසුම වී තිබේ. සභාපතිවරයා පවසන ආකාරයට මෙම නව කර්මාන්තශාලාව මගින් මෙරට කර්මාන්ත අංශය තුළ නව පිටුවක් පෙරළන බවත්, එය යුරෝපියානු වෙළෙඳ පොළ ඉලක්ක කරගනිමින් එහි නිෂ්පාදන සිදු කරන බවත් සඳහන් වෙයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වන සභාපති ලොකුවිතාන මහතා, “මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මම ඉතාමත් සතුටට පත්වනෙවා මේ  හරහා රටෙහි ආර්ථිකය වර්ධනය කරගැනීමට මෙන්ම අපනයන ආදායම වැඩි කරගැනීමටත් අවස්ථාවක් පවතිනවා. ඒ වගේම මේ හරහා රැකියා අවස්ථාවනුත් බිහි වේවි.” පවසයි.

මෙහිදී සිය සමාගම මෙම ව්‍යාපෘතිය සඳහා හවුල්කාරීත්වයක් වෙ ත පිවිසීමට අදහස් කරගෙන සිටින බවත්, ඒ සඳහා වන එකඟතාවන්ට මේ වනවිට සාකච්ඡා කෙරෙමින් පවතින බවත් පවසා තිබේ.

මේ අතර සිය කර්මාන්තශාලාව සඳහා වන සම්පූර්ණ රබර් අවශ්‍යතාව දේශීය සපයා ගැනීමක් සිදු කරන බවත් ඒ හරහා දේශීය රබර් ගොවියා ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බවත් සභාපතිවරයා වැඩිදුරත් පවසා සිටියි. එහිදී අද වනවිට මෙරට රබර් නිෂ්පාදනය ටොන් 12,000ක් බවත් රජය ඉදිරියේදී මෙම ප්‍රමාණය වර්ධනය සඳහා කටයුතු කරන බවත් හෙතෙම පවසයි.

Views: 914