සීෂෙල්ස් වැසියන්ට වෛද්‍ය සංචාරක කටයුතු යළි ඇරඹීමට විදේශ ඇමති සහතික වෙයි

සීෂෙල්ස් හි වැසියන් සඳහා වෛද්‍ය සංචාරක කටයුතු නැවත ආරම්භ කරන බවට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සීෂෙල්ස් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කොන්‍රාඩ් වින්සන්ට් මෙඩෙරික්  මහතාට සහතික වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මහ කොමසාරිස්වරයා සිය සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටත්ව යෑමට පෙර ඉකුත් 08 වනදා විදේශ ඇමති ගුණවර්ධන මහතා හමු වූ අවස්ථාවේදී ඇමතිවරයා මේ බව සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාවේ පළමු සීෂෙල්ස් මහ කොමසාරිස්වරයා ලෙස, 2017 සහ 2018 වසරවල දී සීෂෙල්ස් ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය ඇතුළුව සිය ධූර කාලය තුළ දී ශ්‍රී ලංකා-සීෂෙල්ස් සබඳතා නංවාලීම සඳහා එතුමා ලබා දුන් කැපී පෙනෙන හා සුවිශේෂී දායකත්වය වෙනුවෙන් විදේශ අමාත්‍යවරයා මහ කොමසාරිස් මෙඩෙරික් මැතිතුමාට ප්‍රශංසා කර ඇත.

බහුපාර්ශ්වීය හා ජාත්‍යන්තර වේදිකාවල දී සීෂෙල්ස් විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් ප්‍රබල සහයෝගය පිළිගත් විදේශ අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා, වෙළඳ, කෘෂිකාර්මික, වෛද්‍ය, සංචාරක, නිල් ආර්ථිකය, ආගන්තුක සත්කාරය, මූල්‍ය අංශය සහ තොරතුරු තාක්‍ෂණය යන ක්ෂේත්‍රවල සමීප සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා ලබා දුන් සහයෝගයද මෙහිදී කෘතවේදීව සිහිපත් කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වසංගතය, සමුද්‍රීය ආරක්ෂාව, මිනිස් ජාවාරම, මත්ද්‍රව්‍ය ජාවාරම සහ දේශසීමා ඉක්මවමින් සිදු කෙරෙන අපරාධ ඇතුළු අන්‍යෝන්‍ය අවශ්‍යතා පිළිබඳ කලාපීය හා ගෝලීය කරුණු සම්බන්ධයෙන් ද විදේශ අමාත්‍යවරයා සහ මහ කොමසාරිස්වරයා අදහස් හුවමාරු කර ගෙන තිබේ.

සීෂෙල්ස් හි ජනාධිපති හා එරට විදේශ අමාත්‍යතුමාගෙන් ශ්‍රී ලංකා ජනතාව වෙත අලුත් අවුරුදු සුබ පැතුම් පිරිනමින්, මහ කොමසාරිස් මෙඩෙරික් මැතිතුමා පශ්චාත් කොවිඩ් ලෝකයේ දී නව මානයන් කරා ළඟා වීම සඳහා විශාල අවස්ථාවක් පවතින ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් අතර ඵලදායී සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය. අධ්‍යාපනය, සෞඛ්‍යය, මූල්‍ය හා සංචාරක කටයුතු වැනි බොහෝ ක්ෂේත්‍රවල ශ්‍රී ලාංකික වෘත්තිකයින්ට සහ නිපුණ ශ්‍රමිකයින් සඳහා සීෂෙල්ස් හි විවෘතව පවත්නා අවස්ථාවන් පිළිබඳව මහ කොමසාරිස්වරයා විසින් පැහැදිලි කර තිබේ

වාර්ෂිකව සීෂෙල්ස් හි වැසියන් සැලකිය යුතු ප්‍රමාණයක් විසින් ප්‍රතිලාභ ලබන, ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර සහ සෞඛ්‍ය කර්මාන්ත විසින් ලබා දෙන නවීන සේවයේ ගුණාත්මකභාවය මහ කොමසාරිස්වරයාගේ පැසසුමට ලක් වූ බවද අමාත්‍යාංශය පවසයි.

Visits: 44