මූල්‍ය බුද්ධි ඒකකයෙන් 2020 දී මූල්‍ය සමාගම් තුනකට රු. මිලියන 2.3ක දඩ

ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පවතින මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2020 ජූනි 01 සිට 2020 දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළදී මෙරට ක්‍රියාත්මක මූල්‍ය ආයතන තුනක් වෙත රුපියල් මිලියන 2.3ක දඩ මුදලක් පැනවීම සිදු කළ බව පවසයි.

ඒ අනුව 2020 ජුනි 01 සිට 2020 දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළදී මූල්‍ය බුද්ධි ඒකකය විසින් රිචඩ් පීරිස් ෆිනෑන්ස් ලිමිටඩ්, සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී සහ සියපත ෆිනෑන්ස් පීඑල්සී යන සමාගම්වලට එරෙහිව මෙලෙස දඩ පැමිණවී තිබේ.

ඒ අතරින් රිචඩ් පීරිස් ෆිනෑන්ස් ලිමටඩ් වෙත දඩ පැමිණවීම 2020.10.15 සිදුව ඇති අතර, එය ලක්ෂ තුනකි. එසේම 2020.11.04 සිදු කර ඇති සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී වෙත සිදු කර ඇති දඩ පැමිණවීම රුපියල් 1,000,000.00 කි. එසේම 2020.11.25 දිනයේ සියපත ෆිනෑන්ස් පීඑල්සී වෙතද  රුපියල් 1,000,000.00 ක දඩ පැමිණවී ඇත.

රටේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතනවල අනුකූලතාව බලාත්මක කිරිම සඳහා මෙම දඩ මුදල් පැනවීම සිදු කළ බව පැවසෙයි.

විශේෂයෙන්ම 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීම් පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කරන ආයතන සඳහා මෙලෙස මූල්‍යමය දණ්ඩන පනවන බව මහ බැංකුව සඳහන් කරයි.

එහිදී මූල්‍ය ආයතන හෝ නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර විසින් සිදු කරන අදාළ අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කිරීමේ හැකියාව මහ බැංකුවට පවතී.

Visits: 471