2019/20 වසරේදී වඩාත් සම්මානයට පාත්‍ර වූ සමාගම් එළි දැක්වෙයි

මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සඟරාවක් වන LMD සඟරාව මගින් පළමුවරට ඉදිරිපත් කරන 2019 ජනවාරි සිට 2020 සැප්තැම්බර් දක්වා කාලය තුළදී මෙරට තුළ වඩාත් සම්මානයට පාත්‍ර වූ (Most Awarded) මුල් සමාගම් 50ක් ඇතුළත් ලැයිස්තුව පසුගියදා නිල වශයෙන් නිකුත් කෙරිණි.

මෙරට මුල් පෙළේ සමාගම් අතරින් එම කාලසීමාව තුළ වැඩිම සම්මාන ප්‍රමාණයක් හිමිකරගත් සමාගම් මෙලෙස එම ලැයිස්තුව ඇතුළත් කෙරී ඇත. සඟරාවේ විශේෂිත මුද්‍රණයක් ලෙස මෙය ඉදිරිපත්ව වී තිබේ.

ඒ අනුව වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනා ගනිමින් මෙම වර්ගීකරණයේ මංගල සංස්කරණය තුළ පළමු ස්ථානය හිමි කර ගැනීමට කොමර්ෂල් බැංකුව සමත්ව සිටියි. එහිදී මෙම වර්ගීකරණය සඳහා සලකා බැලුණු 2019 ජනවාරි මාසයේ සිට 2020 සැප්තැම්බර් දක්වා කාලය තුළදී කොමර්ෂල් බැංකුව දිනා ගෙන ඇති සමස්ත සම්මාන සංඛ්‍යාව 80 කි.

එසේම දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ මෙම කාලය තුළදී සම්මාන 41 ක් දිනා ගෙන ඇති නේෂන්ස් ඩිවලොප්මන්ට් බැංකුව (එන්ඩීබී) බැංකුවයි. එහි තෙවැනි ස්ථානය සම්මාන 34ක් දිනාගත්  හැටන් නැෂනල් බැංකුව විසින් හිමි කරගෙන ඇත. එසේම මෙම වර්ගීකරනයේ සිව්වැනි ස්ථානය සම්මාන 31 ක් දිනා ගත් තලවාකැලේ ටී එස්ටේට් සමාගමට හිමිව තිබේ. මීට අමතරව  පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සම්මාන 26ක් දිනා ගනිමින් වර්ගීකරණයේ මුල් පස් දෙනා අතරට පත්ව සිටියි.

සම්පත් බැංකුව මෙම වර්ගීකරණයේ අංක 6 ස්ථානයට පත්ව ඇත්තේ මෙම කාලය තුළ දිනා ගත් සම්මාන 25 සමගිනි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ ඩීසල් ඇන්ඩ් මෝටර් ඉන්ජිනියරිං (ඩිමෝ) යන සමාගම් පිළිවෙලින් සම්මාන 23ක් සහ 21ක් දිනා ගනිමින් මෙම වර්ගීකරණයේ හත්වැනි ස්ථානය සහ  අටවැනි ස්ථානය හිමි කර ගෙන තිබේ.

මේ අතර එයිට්කන් ස්පෙන්ස් සමාගම වර්ගීකරණය සඳහා අදාළ මෙම කාලය තුළදී සම්මාන 19ක් දිනා ගනිමින් 09 වැනි ස්ථානයටත් එයිට්කන් ස්පෙන්ස් හොටෙල් හෝල්ඩිංග්ස් සමාගම සම්මාන 18ක් දිනා ගනිමින් මුල් 10 දෙනා අතරටත් පත්වීමට සමත්ව සිටියි.

ඒ අනුව මෙම කාලසීමාවේදී වඩාත් සම්මානයට පාත්‍ර වූ මුල් සමාගම් 10 අතර විශාල ප්‍රමාණයේ විවිධාංගීකරණය වූ සමාගම් දෙකක්, පෞද්ගලික අංශයේ වාණිජ බැංකු හතරක්, මූල්‍ය සහ කල්බදු අංශය නියෝජනය කරමින් සමාගම් දෙකක්, ආගන්තුක සත්කාර, මෝටර් රථ කර්මාන්ත සහ වැවිලි කර්මාන්තය යනාදී අංශ ඇතුළත්ව තිබේ.

LMD සඟරාව පවසන ආකාරයට මෙම සමීක්ෂණය සඳහා සමාගම් 204ක් පිළිබඳ තොරතුරු රැස් කරගෙන තිබේ. ඒ අනුව ගුවන් සේවා සමාගම්  1ක්, ඇගලුම් සමාගම් 4ක්, ඉදිකිරීම් සහ ඉංජිනේරු සමාගම් 3ක්, පාරිභෝගික භාණ්ඩ සමාගම් 4ක්, පාරිභෝගික නිෂ්පාදන සමාගම් 3ක්, උපදේශන සේවා සමාගම් 1ක්, රසායනික නිෂ්පාදන සමාගම් 2ක්, බැංකු 21ක්, දුම්කොළ සමාගම් 1ක්, වෙළෙඳ සමාගම් 1ක්, දුරකතන සන්නිවේදන සමාගම් 5ක්, ගබඩා සහ සැපයුම් සමාගම් 1ක්, විවිධාංගීකරණය වූ සමාගම් 29ක්, මූල්‍ය සහ කල්බදු සමාගම් 18ක්, තාක්ෂණික සමාගම් 7ක්, සිල්ලර භාණ්ඩ අඅලෙවි සමාගම් 3ක්, දේපළ වෙළෙඳාම් සමාගම් 5ක්, ආහාර සහ පානවර්ග සමාගම් 20ක්, විදුලිය සහ බලශක්ති සමාගම් 1ක්, පාවහන් සහ නිමි ඇදුම් සමාගම් 2ක්, සෞඛ්‍ය ආරක්ෂක සමාගම් 9ක්, වැවිලි සමාගම් 4ක්, ආගන්තුක සත්කාර සමාගම් 11ක්, ඖෂධ සමාගම් 1ක්, පාම් තෙල් සමාගම් 1ක්, ඉන්ධන සහ ලිහිසි තෙල් සමාගම් 1ක්, රක්ෂණ සමාගම් 12ක්, ප්‍රවාහන සමාගම් 1ක්, මෝටර් රථ සමාගම් 10ක්, නිෂ්පාදන සමාගම් 19ක් සහ මාධ්‍ය ආයතන 2ක් යනාදී ලෙස මෙම සමාගම් වර්ග කෙරී ඇත.

Views: 41