මොකක්ද මේ ජෝර්ජ් ස්ටුවර්ට් ඉන්ජිනියරිං

මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික දිලිත් ජයවීරගේ සභාපතිත්වයෙන් යුත් ජෝර්ජ් ස්ටුවර්ට් ඇන්ඩ් කම්පැනි සමාගම ඉදිකිරීම් ක්ෂේත්‍රය වෙතද අවතීර්ණ වෙමින් ජෝර්ජ් ස්ටුවර්ට් ඉන්ජිනියරිං ප්‍රයිවට් ලිමිටඩ් ලෙස නව සමාගමක් පිහිටුවා ඇතැයි පසුගියදා සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇති විය.

නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක නිවාස ඒකක 300ක් ඉදිකිරීමේ මූලික කටයුතු ඇරඹීමේ අවස්ථාවේදී මෙම නව සමාගම පිළිබඳව කරුණු අනාවරණය වීමත් සමග එවැනි තත්ත්වයක් උදා වී තිබුණි.

ඒ අනුව මෙහිදී අදාළ ඉදිකිරීම් සඳහා සමාගම් කිහිපයක් වෙතම කොන්ත්‍රාත් හිමිව තිබූ අතර George Steuart Engineering (Pvt) Ltd සමාගමට අමතරව Maga Engineering (Pvt) Ltd, Access Engineering PLC, Sanken Construction Company (Pvt) Ltd, Nawaloka Construction Company (Pvt) Ltd, Tudawe Brothers (Pvt) Ltd, International Construction Consortium (Pvt) Ltd, State Engineering Corporation (SEC) සහ Edward & Christie – Ecto Joint Venture යන දේශීය කොන්ත්‍රාත් සමාගම් ඒ අතර විය.

මෙරට පැරණිතම සමාගම ලෙසද සැලකෙන ජෝර්ජ් ස්ටුවර්ට් පෞද්ගලික සමාගම සමාගමේ ඉතිහාසය 1835 වසර දක්වා දිවයයි. එය 1954 මාර්තු මාසයේදී ජෝර්ජ් ස්ටුවර්ට් ඇන්ඩ් කම්පැනි ලිමිටඩ් ලෙස පිහිටුවීමක් සිදුව ඇති අතර, 2008 මාර්තු මාසයේදී සමාගම් පනත යටතේ යළි ලියාපදිංචි කිරීම සිදුව තිබේ.

පසුගියදා ජෝර්ජ් ස්ටුවර්ට් ඇන්ඩ් කම්පැනි පෞද්ගලික සමාගම විසින් එච්වීඒ ලංකා සමාගම මිලදී ගැනීමේ යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේදී 2019/2020 මූල්‍ය වර්ෂය අතරතුරදී සිය ජෝර්ජ් ස්ටුවර්ට් ඇන්ඩ් කම්පැනි සමාගමේ ප්‍රධාන ක්‍රියාකාකරම් සහ එහි පරිපාලිත සමාගම් මොනවාද යන්න අනාවරනය කිරීමට ජෝර්ජ් ස්ටුවර්ට් ඇන්ඩ් කම්පැනි පියවර ගෙන තිබුණි. එහෙත් මෙම සමාගම් ලැයිස්තුව තුළ ජෝර්ජ් ස්ටුවර්ට් ඉන්ජිනියරිං සමාගම පිලිබඳව සඳහන්ව නැත.

ඒ අනුව අද වනවිට ජෝර්ජ් ස්ටුවර්ට් ඇන්ඩ් කම්පැනි ලිමිටඩ් යටතේ ක්‍රියාත්මක සමාගම් මෙසේය. ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් (පෞද්) සමාගම, ජෝර්ජ් ස්ටුවර්ට් ටීස් (පෞද්) සමාගම, ජෝර්ජ් ස්ටුවර්ට් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (පෞද්) සමාගම, ජෝර්ජ් ස්ටුවර්ට් ඉන්වෙස්ට්මන්ට්ස් (පෞද්) සමාගම, ජෝර්ජ් ස්ටුවර්ට් කැපිටල් (පෞද්) සමාගම, ජෝර්ජ් ස්ටුවර්ට් ට්‍රැවල්ස් (පෞද්) සමාගම, ජෝර්ජ් ස්ටුවර්ට් ට්‍රැවල්ස් සමාගම, ජෝර්ජ් ස්ටුවර්ට් ඒවියේෂන් (පෞද්) සමාගම, සිට්‍රස් ලෙෂර් පීඑල්සී, ජෝර්ජ් ස්ටුවර්ට් සොලියුෂන්ස් (පෞද්) සමාගම, ජෝර්ජ් ස්ටුවර්ට් ලැබොටරීස් (පෞද්) සමාගම, සේරි නැචුරල්ස් (පෞද්) සමාගම, වෙකන්ඩ බිල්ඩිං ඇන්ඩ් ප්‍රොපර්ටි කම්පැනි (පෞද්) සමාගම සහ ජෝර්ජ් ස්ටුවර්ට් ඔප්ටිමයිස් (පෞද්) සමාගම ඒවා වෙයි.

මීට අමතරව ජොර්ජ් ස්ටුවර්ට්ස් රෙක්රූට්මන්ට් (පෞද්) සමාගම, ජෝර්ජ් ස්ටුවර්ට් එකස්පෝර්්ස් (පෞද්) සමාගම, ජෝර්ජ් ස්ටුවර්ට් ටෙලිකොම් (පෞද්) සමාගම, ජෝර්ජ් ස්ටුවර්ට් හොලිඩේස් (පෞද්) සමාගම, ජෝර්ජ් ස්ටුවර්ට් ඉන්ඩස්ට්‍රීස් (පෞද්) සමාගම, ජේම්ස් ස්ටුවර්ට් (පෞද්) සමාගම යනාදී සමාගම් මේ වනවිට සිය මෙහෙයුම් අත්හිටුවා තිබේ.

එහෙත් ජෝර්ජ් ස්ටුවර්ට් ඇන්ඩ් කම්පැනි ලිමිටඩ් යටතේ ජෝර්ජ් ස්ටුවර්ට් ඉන්ජිනියරිං ලෙස සමාගමක් අංක 24 රොස්මිඩ් පෙදෙස කොළඹ 07 යන ලිපිනයෙහි ලියාපදිංචිව ඇත.  එහි වෙබ් අඩවිය වන www.gsengineering.lk හි සඳහන් ආකාරයට 2005 වසරේ අගෝස්තු 16 වැනිදා පිහිටවුණු ලංකා ක්‍රියේටිව් කන්ස්ට්‍රක්ෂන් (පෞද්) සමාගම  මෙලෙස George Steuart Engineering (Pvt) Ltd හි බවට පත්ව තිබේ.

අද වනවිට ශ්‍රී ලංකාවේ ඉංජිනේරු ක්ෂේත්‍රය තුළ සිය සමාගම දක්වන භූමිකාව සම්බන්ධයෙන් තමන් අභිමානයට පත් වන බව සමාගම සඳහන් කරයි. ඒ අනුව සමාගම මගින් මහා පරිමාණ සහ කුඩා පරිමාණ සිවිල්, යාන්ත්‍රික සහ ඉලෙක්ට්‍රිකල් ඉදිකිරීම් සඳහා විසදුම් ලබා දෙන බවත් පවසා සිටියි.

සමාගම සඳහන් කරන ආකාරයට ලංකා විදුලි බල මණ්ඩලය, චීනයේ ZTE සන්නිවේදන සමාගම, සිමන්ස් සමාගම, සිට්‍රස් හෝටල් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් මෙන්ම ජර්මනියේ ABB යන සමාගම් ඔවුන්ගේ පාරිභෝගිකයන්ය.

ජෝර්ජ් ස්ටුවර්ට් ඉන්ජිනියරිං සමාගම යටතේ මෑතකදී සිදු කර ඇති ව්‍යාපෘති වන්නේ  සිට්‍රස් වස්කඩුව, චුන්නාක්කම්හි ග්‍රිඩ්  උපපොළ, වස්කඩුව බීච් රිසෝට් පීඑල්සීහි කාර්ය මණ්ඩල න වාතැන් පොළ සහ කොළඹ 03 ලිබර්ටි ප්ලාසාහි අලුත්වැඩියා කිරීම යන ව්‍යාපෘති කිහිපයයි.

ඊට පෙර ලංකා ක්‍රියේටිව් කන්ස්ට්‍රක්ෂන් (පෞද්) සමාගම  ලෙස පවතිද්දී විදුලිබල මණ්ඩලය සමගින් සිදු කරන ලද ග්‍රිඩ් උප පොළ සහ මොබිටෙල් සමාගම හා එක්ව සිදු කරන ලද සන්නිවේදන කුලුණු ඉදිකිරීම් යනාදිය ඇතුළු ව්‍යාපෘති පමණක් මෙම සමාගම මගින් සිදු කර තිබේ.

Visits: 118