චීන දුරකතන සමාගම් තුනක් නිව්යෝර්ක් කොටස් හුවමාරුවෙන් ඉවත් කිරීමට යයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් කොටස්  හුවමාරුවෙහි (NYSE) ලැයිස්තුගත වී සිටින චීන දුරකතන සමාගම් තුනක් එම ලැයිස්තුගතවීමෙන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි. මෙම දුරකතන සමාගම් සතුව චීන යුදහමුදාව සමගින් සම්බන්ධතා පවතින බවට එල්ල වන චෝදනා මීට හේතු වී තිබේ.

ඒ අනුව චයිනා මොබයිල්, චයිනා ටෙලිකොම් සහ චයිනා යුනිකොම් හොංකොං යන චීන දුරකතන සන්නිවේදන සමාගම් මෙලෙස ලැයිස්ගත කිරීමෙන් ඉවත් කිරීමට තීරණය කෙරී තිබේ. ලබන සතියේදී මෙම සමාගම් හි කොටස් ගනුදෙනු අත්හිටුවීමට නිව්යෝර්ක් කොටස්  හුවමාරුව පියවර ගනු ඇති බවත්, අනතුරුව එම සමාගම් ලැයිස්ගත කිරීමෙන් ඉවත් කෙරෙනු ඇති බවත් පැවසෙයි.

එක්සත් ජනපදයේ ජනපති ට්‍රම්ප්ගේ පරිපාලනය මගින් චීන සමාගම් ඉලක්ක කරගනිමින් සිදුකරන පහරදීම්හි ආසන්නතම අවස්ථාව බවත් මෙය පත්ව තිබේ. මෙම සමාගම් තම සියලුම ආදායම් ඉපැයීම් චීනය තුළ සිදු කරන බවත් එක්සත් ජනපදය තුළ ඔවුන් කිසිදු ආකාරයක මෙහෙයුම් දියත් කිරීමක් සිදු නොකරන බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙලෙස චීන සමාගම් නිව්යෝර්ක් කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීමෙන් ඉවත් කිරීම එක්සත් ජනපදයත් චීනයත් අතර පවතින භූ-දේශපාලනික මතභේදකාරී තතත්වයේ තවත් අවස්ථාවක් බවට පත්ව තිබේ.

චීන රජයට අයත් මෙම දුරකතන සන්නිවේදන සමාගම් තුන එරට දුරකතන කර්මාන්තයේ ප්‍රධානම සමාගම් තුනද වෙයි. එසේම එම සමාගම්හි ප්‍රධාන ලැයිස්තුගතවීම හොංකොං කොටස් හුවමාරුව තුළ සිදු කර ඇති අතර, ඊට සාපේක්ෂව එක්සත් ජනපදයේ නිව්යෝර්ක් කොටස් හුවමාරුවේ  ලැයිස්තුගතවීම හරහා සිදුකරන ගනුදෙනු අඩු මට්ටමක පවතී.

පසුගිය නොවැම්බර් මාසයේදී ජනපති ට්‍රම්ප් විසින් නිකුත් කළ නියෝගයකට අනුව චීනයේ යුද හමුදාවට අයත් හෝ චීන යුද හමුදාව මගින් පාලනය කෙරෙන හෝ සමාගම් තුළ ඇමෙරිකානු ආයෝජන සිදු කිරීම තහනම් කෙරිණි. එහිදී එක්සත් ජනපදයේ පෙන්ටගනය මගින් හමුදාමය සබඳතා පවතින බවට නම් කෙරුණු ලැයිස්තුගත චීන සමාගම් හි කොටස් මිලදී ගැනීම සහ අලෙවි කිරීම එක්සත් ජනපද ආයෝජකයන්ට තහනම් කෙරී තිබේ.

මේ අතර, දැනටමත් ජනපති ට්‍රම්ප්ගේ පරිපාලනය මගින් ජාතික ආරක්ෂව මූලික කරගනිමින් ටික්ටොක්, හුආවෙයි සහ ටෙන්සෙන්ට් ඇතුළු චීන තාක්ෂණික සමාගම් කිහිපයක්ම එරට තුළ තහනම් කිරීමට තීරණය කර ඇත.

Visits: 110