ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරියත් විශ්‍රාම යයි

ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ ආචාර්ය ඉන්දු ආර් බණ්ඩාර මහත්මිය එම ධුරයෙන් විශ්‍රාම යෑමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව ඇය පසුගිය දෙසැම්බර් 14 වැනි සඳුදා සිට විශ්‍රාම යෑමට පෙරාතුව ලබා ගත හැකි නිවාඩුව ලබා ගෙන ඇතැයි අනාවරණය කර තිබේ.

ඇගේ මෙම විශ්‍රාමයෑමත් සමගින්ම පුරප්පාඩු වන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පී.එම්.පී. අනුර කුමාර මහතා නම් කෙරී ඇත. මීළග අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කරන තෙක් ලබන වසරේ මාර්තු මාසය දක්වා ඔහු එම ධුරයේ කටයුතු කරනු ඇතැයිද සඳහන් වෙයි.

රටෙහි ආර්ථික, සාමාජීය කරුණු පිළිබඳව දත්ත රැස්කරමින්, ඒවා විශ්ලේෂණය කරමින් නිල තොරතුරු වාර්තා කරන ආයතනය ලෙස ක්‍රියාත්මක වීම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ කාර්ය භාරයයි. කෙසේ වෙතත් මේ වසරේ මෙරට ආර්ථික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවල ඇතැම් මතභේදාත්මක කරුණු ඇතුළත්වීම සම්බන්ධයෙන් දැඩි කතාබහක්ද ඇතිව තිබුණි.

එහිදී විශේෂයෙන්ම මේ වසරේ පළමු කාර්තුවේදී මෙරට දළ ජාතික නිෂ්පාදිතයේ වර්ධනය -1.6෴ක් බවට එම දෙපාර්තමේන්තුව වාර්තා කිරීමත්, ඊට කොවිඩ්-19 වසංගතයේ බලපෑම නිසා එල්ල වූ ලොක්ඩවුන් සීමා හේතු වූ බවට කරුණු දැක්වීමත් මූලික විය.

කෙසේ වෙතත් මෙම වසංගතයේ බලපෑම රට තුළ බලපෑම් එල්ල කිරීම මාර්තු මාසයේ අවසන් සති දෙකේදී සිදු වීමත්, පළමු කාර්තුව ජනවාරි සිට මාර්තු අවසානය දක්වා වන නිසා එම බලපෑම ඉතාමත් සීමිත දින කිහිපයකට පමණක් බලපෑම මෙලෙස දෙපාර්මේන්තුවේ දත්ත පිළිබඳ ගැටලුවක් ඇති විය.

මේ අතර, දෙපාර්තමේන්තුව මගින් වසරේ දෙවැනි සහ තෙවැනි කාර්තුවල දළ ජාතික නිෂ්පාදිතය පිළිබඳ දත්ත වාර්තා කිරීම පමා විය හැකි බවටද සිදුකළ නිවේදනයද දැඩි කතාබහට ලක්විය.

පසුගිය දෙසැම්බර් 15 වැනිදා නිකුත් වුණු දෙපාර්තමේන්තුවේ එම වාර්තාවට අනුව දෙවැනි කාර්තුවේදී මෙරට දළ ජාතික නිෂ්පාදිතය 16.3%කින් හැකිලීමට ලක්ව ඇතැයි අනාවරණය කෙරිණි. කෙසේ වෙතත් තෙවැනි කාර්තුවේදී එය 1.5%ක වර්ධනයක් ලබා ගෙන ඇතැයිද සඳහන් වී තිබුණි.

Views: 92