උදයංගගේ අත්හදා බැලීමේ ‘සංචාරක බුබුලට’ තවම සෞඛ්‍ය අවසර නෑ

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයෙකු වන උදයංග වීරතුංග මහතා විසින් ලබන දෙසැම්බර් 26 වැනිදා සිට රුසියාවේ සහ යුක්රේනයේ සංචාරකයන් පිරිසක් මෙරටට රැගෙන ඒම සඳහා සිදු කර ඇති නියමු ව්‍යාපෘති සැලසුමට මෙතෙක් සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය හිමිව නැතැයි පැවසෙයි.

අත්හදා බැලීමේ සංචාරක බුබුලක් (Travel Bubble) සංකල්පය යටතේ මෙහිදී සංචාරකයන් මෙරටට රැගෙන ඒම හිටපු තානාපතිවරයාගේ අදහස වී තිබේ. එහිදී රුසියානු, යුක්රේන සහ කසකස්තාන ජාතික සංචාරකයන් මෙරටට පැමිණෙන බව ඔහු සඳහන් කරයි.

ලබන දෙසැම්බර් 26 වැනිදා සිට 2021 ජනවාරි 31 දක්වා කාලය තුළදී මෙම පිරිස සංචාරක වීසා මත මෙරටට ගෙන්වා ගැනීම සැලසුම වී තිබේ. ඒ සඳහා යුක්රේන ගුවන් සේවයේ යානා 16ක්, ස්කයි අප් සහ ස්කැට් එයාර් යන ගුවන් සමාගම්වල ගුවන් යානා 22ක් කටුනායක සහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත මෙහෙයුම් සිදු කරන  බවත් පැවසෙයි.

කෙසේ වෙතත් සංචාරක අමාත්‍යාංශය පෙර සඳහන් කර තිබූ ආකාරයට හිටපු රුසියානු තානාපතිවරයා සැලසුම් කරන මෙම සංචාරක වැඩසටහන වෙත මත්තල ගුවන් තොටුපොළ හරහා අවස්ථාව ලබා දීමට  එකඟතාවකට පත්ව තිබී ඇති අතර, එහිදී  පැමිණෙන සංචාරකයන් සියලු දෙනාම දකුණ, නැගෙනහිර සහ නිරිතදිග වෙරළ තීරයේ හෝටල් වෙත නවාතැන් පහසුකම් සඳහා යොමු කිරීමත් අදහස විය.

උදයංග වීරතුංග මහතාද සිය ෆේස්බුක් පිටුවෙහි මේ බව සඳහන් කර ඇති අතර, “ඔවුන්ට මුහුදු තීරයෙහි හෝටල් තුළ නිරෝධායන නීති රීතිවලට අනුකූලව විවේක ගැනීමට අවසරය ලබා දී ඇත. එබැවින් එම රටවල් සමග තම සංචාරක කර්මාන්තය ආරම්භ කිරීමට පුළුවන් බව ඔබට සතුටින් දන්වා සිටිමි.” යනුවෙන් ඔහු එහිදී පවසා තිබේ.

කෙසේ වෙතත් අද පළ වුණු සන්ඩේ ටයිම්ස් පුවත්පත මෙලෙස සංචාරකයන් සඳහා ගුවන් තොටුපොළ විවෘත කිරීම සම්බන්ධයෙන් ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතාගෙන් සිදු කළ විමසීමකට පිළිතුරු ලබා දී ඇති ඒ මහතා, සංචාරකයන් සඳහා ගුවන් තොටුපොළ විවෘත කිරීමට නිවේදනයක් නිකුත් වුවද, රජයෙන් පැහැදිලි උපදෙසක් ඒ සම්බන්ධයෙන් නොලැබුණු බව පවසා ඇත.

ඒ අනුව නිවේදනයක්  ලැබුණු වහාම යළිත් සාමාන්‍ය මෙහෙයුම් ඇරඹීමට කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ සූදානම් බවත් හෙතෙම පවසා තිබේ. එසේම උදයංග වීරතුරංග මහතා සැලසුම් කර ඇති මෙම නියමු ව්‍යාපෘතියද සාර්ථක වන්නේ සෞඛ්‍ය උපදෙස් ලැබෙන පිළිවෙල අනුව බවද හෙතෙම මෙහිදී අවධාරණය කර ඇත.

මේ අතර ඊයේ දිනයේදී සිය ෆේස්බුක් ගිණුම වෙත වීඩියෝවක් නිකුත් කර ඇති රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුරංග මහතා, මත්තල රාජපක්ෂ හම්බන්තොට ගුවන් තොටුපොළ වෙත පැමිණෙන සංචාරකයන් ඔවුන්ගේ සංචාරක මගපෙන්වීමේ ආයතනය මගින් තෝරාගත් හෝටල් වෙත රැගෙන යන බවත්, එහිදී හෝටලය මගින් අත්‍යවශ්‍ය පීසීආර් පරීක්ෂණ සිදු කරනු ඇති බවත් පවසා තිබේ.

Visits: 167