ඉහළ යන ආයෝජක විශ්වාසයත් සමගම ASPI 6,500 සීමාවත් පසු කරයි

කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු සම්බන්ධයෙන් පවතින  ඉහළ ආයෝජක විශ්වාසය තවදුරටත් තහවුරු කරමින් අද දිනයේදී (දෙසැ 08) එහි සමස්ත කොටස් මිල දර්ශකයේ (ASPI) අගය ඒකක  6,500 සීමාව පසු කිරීමට සමත් විය. මෙලෙස ASPI අගය 6,500 සීමාව පසු කර ඇත්තේ වසර දෙකකුත් මාස හතකට පමණ පසුව බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.  

එසේම දිනයේ සමස්ත පිරිවැටුමත් රුපියල් බිලියන 4 ඉක්මවූ අගයක් දක්වා ඉහළ යාම සිදු විය. විශේෂයෙන්ම තනි පුද්ගල ආයෝජකයන්ගේ දායකත්වය මේ සඳහා කැපී පෙනෙන අවස්ථාවක් වී ඇතැයිද කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී බැංකු නිෂ්පාදන සහ විවිධාංගීකරණය වූ සමාගම් කෙරෙහි වන ආයෝජක ආකර්ෂණය එලෙසින්ම වන බවත් එම සමාගම් සඳහන් කරයි.

ඒ අනුව මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 6,486.73ත් ඒකක 6,582.15ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 6,564.00 ක් බවට පත්විය. ඊයේ (දෙසැම්බර් 07) දිනයට සාපේක්ෂව එය ඒකක 90.24 ක් එනම් +1.39%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව කොමර්ෂල් බැංකුව, ඩීඑෆ්සීසී බැංකුව සහ ඩයලොග් ආසිආටා පීඑල්සී සිදු කළ ගනුදෙනු දිනයේ පිරිවැටුම සඳහා 4%ක දායකත්වයක් ලබා දී තිබේ.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 134ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 72ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ හැටන් නැෂනල් බැංකුව HNB (+6.67), බ්‍රවුන්ස්  ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+6.58),  එච්එන්බී ෆිනෑන්ස් පීඑල්සී HNBF (+6.18),  ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (+5.61),  සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (+2.11),  ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (-2.11), ජෝන් කීල්ස් හොටෙල්ස් පීඑල්සී KHL (-2.00), එච්එන්බී  ඇෂුවරනස් පීඑල්සී HASU (-1.13), ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී DIPD (-1.11), ඒෂියන් හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී AHPL (-0.91)

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,642.50 ක අගයක් ගත් අතර, එය ඊයේ (දෙසැම්බර් 07) දිනයට සාපේක්ෂව ඒකක 59.75 ක එනම් +2.31%ක ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 4.24ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (දෙසැ 07දා) වාර්තා කළ රුපියල් බිලියන 3.26ට සාපේක්ෂව 30% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.87ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 0.61%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 224.4ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 225.78 ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 3.38කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 48.88ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 18.22කි. එසේම ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සි විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 84.66ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් බිලියන 1.21ක් සඳහා  ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 29% ක අගයක් ගෙන තිබේ. ආහාර, පානවර්ග සහ දුම්කොළ සහ බැංකු අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 846ක සහ රුපියල් මිලියන 825ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Hits: 113