ලොව පළමු COVID-19 එන්නත්කරණ වැඩසටහන බ්‍රිතාන්‍යයේදී ඇරඹෙයි

COVID-19 වසංගතය එරෙහිව එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලොව පළමු රට ලෙස බ්‍රිතාන්‍ය අද (දෙසැම්බර් 08) දිනයේදී සිය දැවැන්ත එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ බව වාර්තා වෙයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ Pfizer සහ ජර්මනියේ BioNTech යන සමාගම් එක්ව නිෂ්පාදනය කරන ලද COVID-19 වලකන එන්නත මෙහිදී ලබාදීම සිදු වෙයි. මෙම පළමු එන්නත් මාත්‍රාව ලබා දීමෙන් දින 21කට පසුව එම පිරිස් වෙත දෙවැනි එන්නත් මාත්‍රාව ලබාදීමට නියමිතව ඇත.

මෙහිදී එරට වයස අවුරුදු 80ට වඩා වැඩි පිරිස්, සුරැකුම් නිවාසවලට සේවකයන් මෙන්ම ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන් සහ සමාජ ආරක්ෂක කාර්ය මණ්ඩලය වෙත මෙම එන්නත් ලබා දීම සිදු වෙයි.

මෙම එන්නත්කරණ වැඩසටහන පිළිබඳව අදහස් දක්වන බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්, “මෙය කොරෝනා වෛරසයට එරෙහි සටනේදී එක්සත් රාජධානිය ගනු ලැබූ දැවැන්ත ඉදිරි පියවරක්.” යනුවෙන් පවසා ඇත.

බ්‍රිතාන්‍ය දැනටමත් Pfizer සමාගමෙන් එන්නත්  මිලියන 40ක ප්‍රමාණයක් ඇනවුම් කර තිබේ. මෙය එක් අයෙකුට එන්නත් දෙක බැගින් පුද්ගලයන් මිලියන 20ක් සඳහා ප්‍රමානවත් වෙයි. දැනටමත් එන්නතේ මාත්‍රා ලක්ෂ අටක් බ්‍රිතාන්‍ය වෙත ලැබී ඇති අතර, එන්නත්කරණ වැඩසටහන අරඹා ඇත්තේ ඒවා යොදා ගනිමිනි. දෙසැම්බර් මාසය අවසන් වනවිට එරට තුළ මිලියන 4ක පිරිසකට එන්නත ලබා දීම අරමුණ වී තිබේ.

මෙහිදී එක්සත් රාජධානියට අයත් රාජ්‍යයන් වන එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය සහ උතුරු අයර්ලන්තය එක්ව ඇති කරගත් එකඟතාවකට අනුව එම සෑම රටකදීම ක්‍රියාත්මක වන ලෙස මෙම දැවැන්ත එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කෙරී ඇත.

Visits: 121