අභියෝග ජයගත හැකි ව්‍යවසායකයන් බිහි කිරීමේ ‘උපාධිධාරී ව්‍යවසායක උදානය’ ඇරඹෙයි

“අප කණගාටුවෙන් වුවත් පිළිගත යුතුයි ‘අපේ රටේ ණය බර දළ දේශීය නිෂ්පාදිතයෙන් 90%කටත් වඩා වැඩියි.’ කියා. මේ අභියෝගය ජයගත හැක්කේ මෙරට දළ දේශීය නිෂ්පාදිතය වැඩි කිරීමෙන් පමණයි.” – කර්මාන්ත ඇමති විමල් වීරවංශ

විශ්වවිද්‍යාල පද්ධතියෙන් බිහිවූ උපාධිධාරී ව්‍යවසායකයන් 146 දෙනකුට මූල්‍යමය ප්‍රතිපාදන ප්‍රදානය කිරීමේ වැඩසහනක් ‘උපාධිධාරී ව්‍යවසායක උදානය’ නමින් සංවිධානය කරන්නට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය ඊයේ පියවර ගෙන තිබුණි.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාව සංවිධානය වී තිබුණි. එහිදී අදහස් දක්වා ඇති අමාත්‍යවරයා, මෙරට ණය බර  ප්‍රතිශතාත්මකව අඩු කිරීමට හැකි පරිදි දළ දේශීය නිෂ්පාදිතය වැඩි කිරීම රට හමුවේ ඇති බරපතළ අභියෝගයක් බවත් එවැනි අභියෝගයක් ජයගත හැකි ව්‍යවසායකයන් පිරිසක් බිහි කිරීම ‘උපාධිධාරි ව්‍යවසායක උදානයේ’ අරමුණ බවත් පවසා තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති අමාත්‍යවරයා “ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් ව්‍යවසායකයන් බිහි කිරීම පිණිස ගෙන යනු ලබන වැඩපිළිවෙළේ තවත් අදියරක් මෙලෙස අද සනිටුහන් වෙනවා. උපාධිධාරීන් රජයේ රැකියා ඉල්ලා පෙළපාලි යන අවස්ථාවක, ඔවුන් ලබා ඇති උපාධිය විශේෂිතව සලකා බැලීමකින් තොරව රජයේ සේවයට එකතු කර ගැනීමට තීරණය කර ඇති මොහොතක මෙරට උපාධිධාරීන් තුළින් ව්‍යවසායකත්වය ගොඩනැගීමට මෙවැනි වැඩපිළිවෙළක් දියත් කර තැබීම ඉතා වැදගත්.

උපාධිධාරියෙකු තමන්ට රැකියාවක් සොයා යනවාට වඩා රැකියාලාභීන් පිරිසක් බිහි කරන අයකු විය යුතුයි. ලෝකයේ බොහෝ රටවල් දියුණු වුනේ රැකියා සොයා ගිය මිනිසුන් නිසා නොවෙයි, රැකියා උත්පාදනය කරනු ලබන පිරිස් ඒ රටවල වැඩි වැඩියෙන් බිහි වූ නිසයි. තවත් පිරිසකට රැකියා අවස්ථාවක් ලබාදී ඔවුන්ගේ පවුල්වලට රැකවරණය සැපයිය හැකි පුද්ගලයන්ට තමයි රටේ ආර්ථිකය සවිමත් කළ හැක්කේ. එවන් පුද්ගලයන් වැඩි වැඩියෙන් බිහි කිරීම රජයේ වගකීමක්. මා මෙම ආයතනයේ සභාපති ධුරයට අනුෂ්ක ගුණසිංහ මහතා පත් කරනු ලැබුවේත් ඉතා කෙටි වයසකින් ඉහත කී ආකාරයේ මෙරට සාර්ථක ව්‍යවසායකයෙකු ලෙස කටයුතු කිරීමට ඔහු සමත්ව සිටි ආකාරය දුටු නිසයි.
           
මෙයට ඉහත දී අදහස් දැක්වූ අප අමාත්‍යාංශ ලේකම්තුමන් පෙන්වා දුන් පරිදි සමෘද්ධි දීමනාව වැඩි කිරීමෙන් හෝ වෙනත් සුබසාධන අවස්ථා වැඩි කිරීමෙන් හෝ රට හමුවේ වන අභියෝගයන් ජයගැනීමට නොහැකියි. අප කණගාටුවෙන් වුවත් පිළිගත යුතුයි ‘අපේ රටේ ණය බර දළ දේශීය නිෂ්පාදිතයෙන් 90%කටත් වඩා වැඩියි.’ කියා. මේ අභියෝගය ජයගත හැක්කේ මෙරට දළ දේශීය නිෂ්පාදිතය වැඩි කිරීමෙන් පමණයි.

දළ දේශීය නිෂ්පාදිතයේ අගය වැඩි කළ හැක්කේ රජයේ සේවයට රිංගා ගන්නා අයකුට නොවෙයි. එය කළ හැක්කේ ව්‍යවසායකයින්, කර්මාන්තකරුවන්, ගොවි ජනතාව ආදී පිරිස් වලටයි. ඒ නිසා මේ මොහොතේ කර්මාන්තකරුවන්, ව්‍යවසායකයන් බලගැන්වීම රජයේ පැහැර හැරිය නොහැකි යුතුකමක් වගේම වගකීමක්. උසස් පෙළ සමත් වන පිරිස් අතර විශ්වවිද්‍යාල දූ පුතුන් වන ඔබ සැම ඉදිරිගාමීව සිටින පිරිසක්. ඔබ සැමට හැකි විය යුතුයි සමාජයේ පුරෝගාමින් බවට පත්වීමට. විවිධ ක්ෂේත්‍ර තුළින් ඉදිරියට ගොස් රටට ජයග්‍රහණ රැගෙන ඒමට සමත් විය යුතුයි.
   
විශ්වවිද්‍යාල ව්‍යවසායක දූ පුතුනි, ඔබ ඉදිරියේ පවතින්නේ තවමත් හරිහැටි හඳුනා නොගත් ලෝකයක්. නොදන්නා දේවල්, මෙතෙක් සොයා නොගත් දේවල් ඔස්සේ සිත මෙහෙයවමින් කටයුතු කළහොත් ඔබට සාර්ථක ව්‍යවසායකයෙකු වීමට මාර්ග රැසක් පෙන්වාවි. මීට වසර 10කට පමණ පෙර චීනයේ තරුණයකුට ඇති වූ ලස්සන අදහසක්, අද බිලියන ගණනින් ලාභ උපයන ව්‍යාපාරයක් බවට පත්ව තිබෙනවා. මහා ප්‍රාග්ධනයක් අවශ්‍ය නොවූ පාපැදි කුලියට ලබා දීම එම ලස්සන අදහසයි. ඒ වගේ ඔබත් ‘බැහැ’ කියා නොසිතා නිවැරදි සිතුවිලි සහිතව පෙරට එන්න. එයයි ඔබේ ජයග්‍රහණයේ මාවත. ඒ සඳහා රජය ලෙස අපි ලබාදිය හැකි සියලු සහයෝගය ලබා දෙනවා.” යනුවෙන් පවසා ඇත.

මෙම අවස්ථාවේදී කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා,ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ යන මහත්වරු ද අදහස දැක්වූහ. අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, අතිරේක ලේකම් චමින්ද පතිරාජ යන මහත්වරු ද එක්ව තිබේ.

Views: 128