E.B Creasy & Company PLC සිය කොටස් සියගුණයකින් වැඩි කරගැනීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන E.B Creasy & Company PLC සමාගම සිය සාමාන්‍ය කොටස් හි අතුරු බෙදීමක් හරහා කොටස් ප්‍රමාණය සිය ගුණයකින් ඉහළ නංවා ගැනීමට සැලසුම් කර ඇතැයි පවසයි. පසුගියදා පැවැත් වුණු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ සඳහා අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව මෙහිදී සෑම එක් සාමාන්‍ය කොටසක්ම තවත් කොටස් 100ක් බැගින් අතුරු කොටස් ලෙස බෙදා නිකුත් කිරීම හරහා මෙම කොටස් ප්‍රමාණය වැඩි කරගන්නා බව සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත දන්වා තිබේ. ඒ අනුව දැනට සමාගම සතු සාමාන්‍ය කොටස් ප්‍රමාණය වන 2,535,458 මෙම අතුරු කොටස් බෙදීමෙන් අනතුරුව කොටස් 253,545,800 ක් දක්වා ඉහළ යාමට නියමිතව තිබේ.

මෙහිදී සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය කිසිදු ආකාරයකින් හෝ ඉහළ යෑමේ බලපෑමක් එල්ල නොවී මෙම කොටස් නිකුත් කිරීම සිදු කරන බවත් සමාගම පවසා සිටියි.

කෙසේ වෙතත් මෙම කොටස් අතුරු බෙදීම සඳහා සමාගමේ කොටස්හිමිකරුවන්ගේ අවසරය හිමිවිය යුතුව ඇති බවත්, එය මීළගට පැවැත්වෙන මාගමේ අතිවිශේෂ මහා සභා රැස්වීමකදී සිදුකරන බවත් සමාගම දන්වා සිටියි.

මේ අතර, මෙලෙස සැලසුම් කර ඇති කොටස් ඉහළ නංවා ගැනීමේ අදහස කිසිලෙසකින්වත් දැනට සමාගම මගින් යෝජනා කර ඇති පළමු සහ අවසන් ලාභාංශ ගෙවීම් වෙතද බලපෑම් එල්ල නොකරන බවත් සමාගම අවධාරණය කරයි. 2020 මාර්තු 31 වැනිදායින් අවසන් වූ වසර සඳහා කොටසකට රුපියල් 18 බැගින් මෙම ලාභාංශ ගෙවීමට යෝජනා වී තිබේ.

ඒ පිළිබඳව සිදු කරන නිල ප්‍රකාශය ලබන දෙසැම්බර් 30 වැනිදා පැවැත්වෙන සමාගමේ වාර්ෂික මහා සභා රැස්වීමේදී සිදු කරන බවත් සමාගම සඳහන් කරයි.

1878 වසරේදී එඩ්වර්ඩ් බෙනට් ක්‍රීසි ගේ මූලිකත්වයෙන් පිහිටවුණු E.B Creasy & සමාගම 1968 වසරේදී මෙරට කොටස් හුවමාරුව හා සම්බන්ධ වී ඇත. අද වනවිට ගෘහස්ත ආරක්ෂාව, සෞඛ්‍ය ආරක්ෂාව, පෞද්ගලික සනීපාරක්ෂාව, ආහාර, බලශක්තිය, භාණ්ඩ ප්‍රවාහන, මෝටර් රථ උපාංග සහ පුනර්ජනනීය බලශක්තිය ඇතුළු ක්ෂේත්‍ර රැසක් පුරා සමාගම විහිදී ඇත.

ඩාර්ලි බට්ලර් සහ සමාගම, ක්‍රීසි ෆුඩ්ස් සමාගම, ලක්ෂපාන  බැටරීස් පීඑල්සී, ඊබී ක්‍රීසි ලොජිස්ටික්ස් සමාගම, මුලර් ඇන්ඩ් ෆිලිප්ස් (සිලෝන්) පීඑල්සී, ලංකා ස්පෙෂල් ස්ටීල්ස් සමාගම සහ ලංකෙම් සිලෝන් පීඑල්සී යන සමාගම් E.B Creasy & Company PLC සමාගමේ පරිපාලිත සමාගම් ලෙස ක්‍රියාත්මක වෙයි.

Visits: 358