‘වැඩ සමඟ යළි ගමට’ ලබන 14 වැනිදා සිට

ග්‍රාමිය සහ අර්ධ නාගරික වැසියන්ගේ සැබෑ අවශ්‍යතා සහ ප්‍රමුඛතාවන් හඳුනාගත් ‘වැඩ සමඟ යළි ගමට’නව ව්‍යාපෘතිය ලබන 14 වැනිදා  සිට රට පුරා  ක්‍රියාත්මක කරන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (දෙසැම්බර් 07) දින උපදෙස් දුන් බව අගමැති මාධ්‍ය අංශය පවසයි.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මුදල් අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ මුලසුන හොබවමින් අගමැතිවරයා මේ බව අවධාරණය කළේය.

ග්‍රාමීය සහ අර්ධ නාගරික ප්‍රදේශයවල ඇති සැබෑ අවශ්‍යතා හඳුනාගනිමින්  අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ලබන 14 වැනිදා පටන් දේශපාලන අධිකාරිය කටයුතු කළ යුතු බව ගරු අග්‍රාමාත්‍යතුමා මෙහිදී පෙන්වා දී තිබේ.

කොවිඩ්-19 තත්ත්වය හමුවේ මෙරට සංචාරක කර්මාන්තය දැඩි අසීරුතාවන්ට මුහුණ පා ඇති බවත්, ඊට මුදල් අමාත්‍යාංශයේ  සහයෝගය  ලබාදිය යුතු බව ද මෙහිදී යෝජනා වී තිබේ.

ඒ සම්බන්ධයෙන් මූදල් අමාත්‍යංශ‍ය ගත් පියවර රැසක් පිළිබඳව මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්.ආටිගල මහතා  විසින්  පැහැදිලි කර ඇත.

ශ්‍රී  ලාංකිකයන්ගෙන්  72%ක් වූ ග්‍රාමීය සහ අර්ධ නාගරිකයන්ගේ  ජීවන මට්ටමේ සාධනීය  වෙනසක් ඇති කිරීමට නම්  නිලධාරිවාදයට නොව ජනතාවගේ අත්‍යවශ්‍ය ප්‍රමුඛතාවයන්ට මුල් තැන දිය යුතු බව මෙහිදී යෝජනා වූ අතර, ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරුන්  වන  අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ  ෂෙහාන් සේමසිංහ මහතාගේ  ද සහයෝගය ඇතිව ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කිරීමට මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්.ආටිගල මහතා  එකඟතාව පළ කර තිබේ.

විශ්‍රාම වැටුප් විෂමතා සම්බන්ධයෙන් සහ සමෘද්ධි නිලධාරීන්ට  මැතිවරණ සඳහා අපේක්ෂකත්වය ලබා දීම සම්බන්ධයෙන්  පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බදුන් වී ඇති අතර,  සමෘද්ධි නිලධාරීන්ට මැතිවරණ සඳහා අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයාගේ සහ කෘෂිකර්ම  අමාත්‍යවරයාගේ සහයෝගයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඒ ප්‍රශ්නය කඩිනමින් විසඳීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා මතු කළ විශ්‍රාම වැටුප් විෂමතාවයන් පිළිබඳව ගැටලුවට විස්තරාත්මකව පිළිතුරු දුන්  මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා වැටුප් සහ විශ්‍රාම වැටුප් වලට පමණක්  රජය වියදම් කරන මුදල ට්‍රිලියන 1.1 ක් වන බව පෙන්වා දී තිබේ.

අයවැය යෝජනාවලිය අනුව උපාධිධාරීන්  50,000ක් රාජ්‍ය සේවයට  අලුතෙන් බඳවාගැනීමට නියමිත අතර, අඩු ආදායම්ලාභී පවුල්වලින් රුපියල් 35,000 වැටුප් ලබන තරුණ තරුණියන්  100,000ක්  බදවාගැනීම සිදුවන බැවින් ඔවුන්ගේ වැටුප්ද මීට එකතු විය යුතු බව ඔහු පෙන්වා දී තිබේ.

මෙය  ඕනෑම රජයක් ඉතා අසීරුවෙන් මූල්‍ය කළමනාකරණය කරන අවස්ථාවක් බව සඳහන් කළ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය රාජ්‍ය අමාත්‍යවරුන් දෙපළ සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන් ඒ කටයුත්ත ඉතා මැනවින් ඉටු කිරීම සම්බන්ධයෙන් ඇඟයීමක්ද සිදු කර තිබේ.

මෙම අවස්ථාව සඳහා ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ, සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයංරැකියා සහ ව්‍යාපාර සංවර්ධන   රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ , මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් කුමාර, මහාචාර්ය රංජිත් බණ්ඩාර, ගුණපාල රත්නසේකර , එස්.වියලේන්ද්‍රන්, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ඩබ්.ඩී.වීරසිංහ සහ මොහොමඩ් මුසාමිල්, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහත්වරු ඇතුළු මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් එක්ව තිබේ.

Views: 67