ASPI වසර දෙකහමාරකට පසු ඉහළම අගයට පත්වෙයි

අද (දෙසැම්බර් 07දා) කොළඹ කොටස් හුවමාරුවේ සිදු වූ ගනුදෙනුවලදී බැංකු අංශය සඳහා පැවැති ආයෝජක ආකර්ෂණය පෙරට වඩා ඉහළ ගිය බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එසේම කොරෝනා වසංගතය හමුවේ අඩපණ වූ දේශීය ව්‍යාපාර බොහෝමයක්ම යථාවත්වීමේ විශ්වාසය තවදුරටත් වර්ධනයවෙමින් පැවතීමද අද දිනයේදී ගනුදෙනු තුළ සාර්ථකත්වයට හේතුවක් වී ඇත. මීට අමතරව රට තුළ සංචරණ කටයුතු යළි ඇරඹීමේ තීරණය පිළිබඳ වූ පුවත් වාර්තාවීමත් සමගින්ම, හෝටල් ඇතුළත් ලෙෂර් ක්ෂේත්‍රය සඳහා වන ආකර්ෂණයද ඉහළ  යාමක් පෙන්නුම් කර තිබේ.

ඒ අනුව මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 6,410.07ත් ඒකක 6,484.88ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 6,473.76 ක් බවට පත්විය. පසුගිය සිකුරාදා (දෙසැම්බර් 04) දිනයට සාපේක්ෂව එය ඒකක 76.20 ක් එනම් +1.19%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙය 2018 වසරේ මැයි මාසයෙන් පසුව කොළඹ කොටස් හුවමාරුවේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා කළ ඉහළ වටිනාකම ලෙසින්ද සැලකෙයි.

මෙහිදී පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව නැෂනල් ඩිවලොප්මන්ට් බැංකුව, ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී, ඇක්සස් ඉංජිනියරිං පීඑල්සී, සිලෝන් හොස්පිටල්ස් පීඑල්සී සහ යුනියන් බැන්ක් ඔෆ් කලම්බු පීඑල්සී සිදු කළ ගනුදෙනු දිනයේ පිරිවැටුම සඳහා 12෴ක දායකත්වයක් ලබා දී තිබේ.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 134ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 74ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ හැටන් නැෂනල් බැංකුව පීඑල්සී HNB (+5.16), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (+4.54),  ඒෂියන් හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී AHPL (+4.26),  කොමර්ෂල් බැංකුව පීඑල්සී COMB (+4.02),  ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (+3.74),  එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-2.24), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (-2.20), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (-2.13), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් පීඑල්සී DIST (-2.11), පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් PLC (-1.86)

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,582.75 ක අගයක් ගත් අතර, එය පසුගිය පසුගිය සිකුරාදා (දෙසැම්බර් 04) දිනයට සාපේක්ෂව ඒකක 48.01 ක එනම් +1.89%ක ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.26ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා (දෙසැ 04දා) වාර්තා කළ රුපියල් බිලියන 3.3ට සාපේක්ෂව 1%ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.83ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 0.78%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 27ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 350 ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 323කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 48.87ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ඒසීඑල් කේබල්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 8.81කි. එසේම එන්ඩීබී බැංකුව විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 225.34ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 694ක් සඳහා  බැංකු අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 21% ක අගයක් ගෙන තිබේ. ප්‍රාග්ධන භාණ්ඩ සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 689ක සහ රුපියල් මිලියන 460ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 225