ඇමෙරිකානු තානාපතිනිය ධීවර ඇමති ඩග්ලස් දේවානන්දා හමුවෙයි

ශ්‍රි ලංකාවේ සිටින ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ඇලන් පී රෙෆ්ලික්ස් මහත්මිය පසුගියදා ධීවර අමාත්‍යාංශයේදී අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හමු වී සාකච්ඡාවක් පැවැත්වූ බව ධීවර අමාත්‍යාංශය පවසයි.

මෙහිදී ශ්‍රී ලංකාවේ ජාතික සංහිදියාව වෙනුවෙන් හා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ගත් උත්සහයන් පිළිබදව තමන්ගේ හා ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රශංසාව අමාත්‍යවරයාට පුද කරන බව එතුමිය පළමුකොට සදහන් කර තිබේ.

ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ ජාතික සංහිදියාව හා තිරසාර සංවර්ධනය සදහා පුර්ණ සහයෝගය දෙන බවද, කොවිඩ් වසංගතය නිසා අසරණ වු ධීවර ජනතාවගේ ජීවන තත්වය ඉහළ දැමීම සදහා අවශ්‍ය සහයෝගය ලබාදීමට පොරොන්දු වන බවද එතුමිය ප්‍රකාශ කර ඇත.

එමෙන්ම පාරිසරක ආරක්ෂණ පියවරයන් ලොව පුරා සංවර්ධනය කිරීමට එක්සත් ජනපදය තීරණය කර තිබෙන බවද ශ්‍රී ලංකාවේ පවතින ධීවර ගැටළු වලට විසදුම් ලබා දිමේදී පාරිසරක ආරක්ෂණ පියවරයන් සමග එම ගැටළු විසදන්නේ කෙසේද? යන්න අවබෝධ කර ගැනීම මේ හමුවීමේ ප්‍රධාන අරමුණ බවද ඒ මහත්මිය වැඩිදුරටත් සදහන් කළ බව ධීවර අමාත්‍යාංශය පවසයි.

තනාපතිනිය වෙත කරුණු පැහැදිලි කල ධීවර අමාත්‍යවරයා මෙවර අයවැයෙන් ශ්‍රී ලංකාවේ ධීවර වරායන් කිහිපයක් නවීන තාක්ෂණය අනුව සංවර්ධනය කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති බවද එහිදී පේදුරුතුඩුව, ගුරුනගර් හා පේසාලේ ධීවර වරායන් එසේ සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙන බවද ප්‍රකාශ කර තිබේ.

මෙම සාකච්ඡාවේදී තානාපතිනිය ධීවර කටයුතු වල යෙදීමේදී ධීවරයන් මුහුණ දෙන අභියෝගයන් හා ඔවුන්ගේ ජීවන තත්වය නැංවීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදවද අමාත්‍යවරයා හා සාකච්ඡා කර ඇත.

තවදුරටත් අදහස් ප්‍රකාශ කළ තනාපතිනිය ධීවරයන්ගේ ජීවනෝපාය නැංවීම සදහා විවිධ ව්‍යාපෘති  හා ආයෝජනයන් ධීවර අමාත්‍යාංශය සමග එක්ව කරගෙන යාමට ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය උනන්දු වන බවද   පවසා තිබේ.  ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපදය තනාපති කාර්යාලයේ දේශපාලන අංශයේ ප්‍රධානී ඇඩම් ස්මිත් හා USAID ආයතනයේ ශ්‍රී ලංකා හා මාලදිවයින් අධ්‍යක්ෂක ක්‍රිස්ට් බෝලේ මහතාද, අමාත්‍යාංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මියද, අමාත්‍ය උපදේශක තවරාජා මහතාද මෙම අවස්ථාවට සහභාගී වූ බව ධීවර අමාත්‍යාංශය සඳහන් කරයි.

Views: 42