“සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය හිමිවූ වහාම කොවිඩ් මාර්ගෝපදේශ අනුව ගුවන්තොටුපළ විවෘත කරනවා” – සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග

  • සංචාරකයන් සදහා පහසුකම් සැපයීමට සංචාරක සේවා ස්ථාන 80ක්
  • සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජංගම යෙදුමක්
  • ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන 4956 ක්
  • පළමු සහ ව්‍යාපාරික පන්තියේ මගීන්ට පහසුකම් සැලසීම සඳහා වෙනම ප්‍රවේශ දෙකක්

විදේශ සංචාරකයන්ට මෙරටට පැමිණීමට හැකිවන පරිදි ගුවන්තොටුපළ යළි විවෘත කිරීම සදහා කොවිඩ්  මාර්ගෝපදේශ අනුව සැළසුම් සකස් කර ඇති බවත්, ඒ සදහා සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය හිමි වූ වහාම ගුවන්තොටුපළ විවෘත කළ හැකි බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ සංචාරකයන් සදහා ගුවන් තොටුපළ කඩිනමින් විවෘත කිරීමේ අවශ්‍යතාව පිළිබද පෙරේදා (02) පාර්ලිමේන්තුවේදී පැවති සංචාරක අමාත්‍ය උපදේශක කාරක සභාවේදී චන්දිම වීරක්කොඩි, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ඩයනා ගමගේ ඇතුළු මන්ත්‍රීවරුන් ගණනාවක් කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමිනි.

ඒ අනුව මේ සම්බන්ධව ඊයේ පස්වරුවේ (03) සෞඛ්‍ය බලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයිද අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ.

කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව මෙරටට පැමිණෙන සංචාරකයන් සදහා පහසුකම් සැපයීමට සංචාරක සේවා ස්ථාන 80ක් මේවන විට හඳුනාගෙන තිබෙන බවද සංචාරක සේවා අධිකාරියේ සභාපතිනිය වන කිමාලි ප්‍රනාන්දු මහත්මියද මෙහිදී පවසා ඇත.

කෝවිඩ් මාර්ගෝපදේශයන්ට අනුව සංචාරක සේවා සැපයිය හැකි හෝටල් සහ සංචාරක කර්මාන්තයට අයත් ආයතවලට මේ සදහා ලියාපදිංචි විය හැකි බවත්, සෞඛ්‍ය බලධාරීන් සමග එම සේවා ආයතනයන්හි තත්ත්වය පරීක්ෂා කර බලා ඒවා අනුමත කළ හැකි බවත් සභාපතිනිය පැවසූ බව පාර්ලිමේන්තු මාධ්‍ය අංශය පවසයි.

එසේම ෆයිසර් සමාගම විසින් නිපදවන ලද කෝවිඩ් එන්නත අනුමත කරන ලද පළමු රට ලෙස එක්සත් රාජධානිය ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක යුරෝපය තුළද මෙම එන්නත ප්‍රචලිත වී සංචාරකයන්ගේ ප්‍රවර්ධනයක් ඇති වුවහොත් ගුවන් තොටුපල කඩිනමින් විවෘත කිරීමට සිදුවිය හැකි බවද අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය  පවසා ඇත.

කමිටුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව පිළිබඳව සිය අවධානය යොමු කර ඇත. මෙම ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ  සභාපතිනිය කිමාලි ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළේ අතිගරු ජනාධිපතිතුමා විසින් පළමු වරට සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත් කර ඇති බවයි.

තවද මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජංගම යෙදුමක් (Mobile App) නිර්මාණය කර ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ  සභාපතිනිය පවසා තිබේ. මෙම යෙදුමහි අන්තර්ගත පහසුකම් මගින් සංචාරකයා සිටින ස්ථානය සහ ළඟම ඇති පොලිස් ස්ථානය සමඟ සබදතාවය පවත්වා ගත හැකි බවත්, මෙම ජංගම යෙදුම 2021 වසරේ හදුන්වා දෙන බවත් ඇය වැඩිදුරටත් අනාවරණය කර ඇත.

මෙහිදී අදහස් දක්වමින්  මඩකලපුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. රාසමානික්කම් මහතා උතුරු  නැගෙනහිර ප්‍රදේශවල සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා නව වැඩපිළිවෙලක අවශ්‍යතාව පෙන්වා දී තිබේ.

ඊට පිළිතුරු ලබා දී ඇති සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය, ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන 4956 ක් දැනටමත් හඳුනාගෙන ඇති බවත් රාමායණ කතා පුවත සම්බන්ධ ශ්‍රී ලංකාවේ ස්ථාන  ඉන්දියානු සංචාරකයන් අතර  ප්‍රවර්ධනය කිරීම සඳහා දැනටමත් ඉන්දීය තානාපතිවරයා සමඟ කතා කර ඇති බවත් පවසා තිබේ.

ගුවන්තොටුපල හා ගුවන් සේවා සභාපති මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ විමසීමට ප්‍රතිචාර දක්වමින්, ගුවන් තොටුපොළ මගී තදබදයට විසදුමක් ලෙස පළමු පන්තියේ මගීන්ට සහ ව්‍යාපාරික පන්තියේ මගීන්ට පහසුකම් සැලසීම සඳහා වෙනම ප්‍රවේශ දෙකක් දැනටමත් ස්ථාපිත කර ඇති බවත් එය ගුවන් තොටුපල නැවත විවෘත කළ වහාම ක්‍රියාත්මක වන බවත් ප්‍රකාශ කර ඇතැයිද පාර්ලිමේන්තු මාධ්‍ය අංශය පවසයි.

Visits: 142