නවසීලන්තයේ ‘යුනිලීවර්’ සේවකයන් අද සිට සතියට වැඩ දින 4යිලු

ලොව මුල් පෙළේ බහුජාතික සමාගමක් වන යුනිලීවර් හි නවසීලන්ත සමාගම (යුනිලීවර් නිව්සීලන්ඩ්) සිය සේවකයන් සඳහා සතියකට දින හතරක සේවා කාලයක් අත්හදා බැලීමට කටයුතු යොදන බව අද දිනයේදී ප්‍රකාශයට පත් කර තිබේ. එහිදී සේවකයන් කිසිදු වැටුප් කප්පාදුවක් සිදු නොකරන බවත් සමාගම සඳ හන් කරයි.

 කොවිඩ්-19 වසංගතයේ බලපෑමෙන් අනතුරුව රටෙහි ආර්ථිකය යළිත් සුපුරුදු ලෙස ආරම්භ කිරීමේ කටයුත්තට දක්වන සහායක් ලෙස යුනිලීවර් නිව්සීලන්ඩ් සමාගම මෙම තීරණයට පිවිස ඇත. මෙම අත්හදා බැලීම වසරක කාලයකට ක්‍රියාත්මක වී තිබේ. අද වනවිට එම සමාගම තුළ සේවකයන් 81 දෙනෙකු රැකියාවේ නිරතව සිටින අතර, ඔවුන් සියලු දෙනාම මෙම අලුත් ක්‍රමයට සුදුසුකම් ලබන බවද සමාගම සඳහන් කරයි.

එසේම ඉදිරියේදී  ගෝලීයව මෙම ක්‍රමය අත්හදා බැලීමටද අවධානය යොමු කරන බවද යුනිලීවර් සමාගම පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන යුනිලීවර් නිව්සීලන්ඩ්හි කළමනාකරණ අධ්‍යක්ෂ නික් බැන්ග්ස් “අපේ ඉලක්කය වෙන්නේ උපරිම කාර්යසාධනයක් ලබා ගැනීමයි. කාලය නෙමෙයි වැදගත්. අපි විශ්වාස කරනවා රැකියාවක නිරතවීමේ පැරණි ක්‍රමවේද අද යල් පැන ගිහිල්ලා. ඒ වගේම ඒවා අපේ අවශ්‍යතාවන් වෙනුවෙන් ගැලපෙන්නේ නෑ.” යනුවෙන් පවසා සිටියි.

මෙම අත්හදාබැලීම ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර තාක්ෂණික විශ්වවිද්‍යාලය මගින් නිරීක්ෂණය කිරීමට නියමිතව ඇත. ඒ අනුව එම ක්‍රමය පෙන්වන සාර්ථකත්වයත් සමගින්ම ඉදිරියේදී ලොව පුරා සිදු කෙරෙන යුනිලිවර් මෙහෙයුම් සඳහා මෙය හඳුන්වාදීමටත් සැලසුම වී ඇත.

Views: 117