සුරැකුම්පත් කොමිෂන් සභාවෙන් ආයෝජකයන්ට දැනුම්දීමක්

කොළඹ කොටස් වෙළෙඳ පොළ ආයෝජනයේදී ඊට අදාළ උපදෙස් ලබා ගැනීම සඳහා බලපත්‍රලාභී ලියාපදිංචි ආයෝජන උපදේශකයන්ගෙන් පමණක් ආයෝජන උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන ලෙස එහි නියාමකයා වන ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව ආයෝජකයන්ට දැනුම් දී සිටියි. 

අද වනවිට විවිධ පුද්ගලයන් මගින් පිහිටුවා ගෙන ඇති සමාජ මාධ්‍ය වේදිකා හරහා ලබා දෙන ආයෝජන උපදෙස් සම්බන්ධයෙන් ලැබෙන වාර්තා සලකා බලමින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මෙම නිවේදනය සිදු කරයි.

“සමාජ මාධ්‍ය වෙබ් අඩවි හරහා තනි තනි පුද්ගලයන් සහ ආයතන මගින් ලබා දෙන තොරතුරු සම්බන්ධයෙන් වන නිරවද්‍යතාව විමසා බැලීමට සැමවිටම අපි ආයෝජකයන් උනන්දු කරවනවා.” සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සිය ට්විටර් ගිණුම හරහා සඳහන් කර සිටියි.

ඒ අනුව මෙවැනි ලියාපදිංචි ආයෝජන උපදේශකයන් පිළිබඳව සිය වෙබ් අඩවියේ ලැයිස්තුගත කර ඇතැයිද එම සභාව වැඩිදුරත් පවසා සිටියි.

විශේෂයෙන්ම දේශීය තනිපුද්ගල ආයෝජකයන් කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු කරන ගනුදෙනු ක්‍රියාකාරකම් ඉහළ යාමත් සමගින්ම මෙලෙස තනි පුද්ගලයන් සහ ආයතන මගින් ෆේස්බුක්, ට්විටර්, යූටියුබ් වැනි සමාජ මාධ්‍ය හරහා ලබා දෙන ආයෝජන උපදෙස්වල වර්ධනයක් දැකගත හැකි බවත් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව වැඩිදුරටත් පවසා සිටියි.

මේවාට අමතර අද වන විට අන්තර්ජාලය හරහා සංවිධානය කෙරෙන සාකච්ඡාමය වැඩසටහන්වලද ඉහළ යාමක් පවතින බවත්, ඒ හරහාද ඇතැම් පාර්ශ්වයන් ආයෝජකයන් වෙත බලපෑම් එල්ල කිරීමේ උත්සාහයන්හි නිරත වන බවත්  එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 562