COVID-19 නිසා ගුවන් සේවා වෙත 2020/21ට ඩොලර් බිලියන 157ක අලාභයක්

ලොව පුරා ව්‍යාප්තව වී ඇති කොරෝනා වසංගතය හේතුවෙන් නවතා දමා ඇති ගුවන් ගමන් කටයුතු නිසා ලොව ගුවන් සේවා සමාගම් වෙත මේ වසර තුළදී සහ ලබන වසරේදී එක්සත් ජනපද ඩොලර් බිලියන 157ක අලාභයක් සිදුවන ගුවන් සමාගම් පිළිබඳ ප්‍රධාන සංගමය වන ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (IATA) පවසයි.

එසේම අද වනවිට ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා දෙවැනි රැල්ල හේතුවෙන් ප්‍රධාන පෙළේ වෙළෙඳපොළ රැසක්ම බලපෑමට ලක්ව ඇති නිසා ගුවන් සේවා කර්මාන්තයේ ඉදිරි පුරෝකතන සියල්ලමද මේ වනවිට පහත හෙළීමට සිදුව තිබෙන බවත් එම සංගමය සඳහන් කරයි.

ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය  පසුගිය ජූනි මාසයේදී සිදුකළ පුරෝකතනයට අනුව ඉදිරි වසර දෙකක කාලය සඳහා ගුවන් සේවා කර්මාන්තය ලබන පාඩුව ඩොලර් බිලියන 100ක් ලෙස ගණන් බලා තිබුණි. එහෙත් අද වන විට එම අලාභය මේ වසර තුළදී පමණක් ඩොලර් බිලියන 118.5ක් වනු ඇතැයි එම සංගමය පවසයි. එසේම 2021 වසරේදී තවත් ඩොලර් බිලියන 38.7ක් පාඩු වෙනු ඇතැයි ඔවුන් පුරෝකතනය කර තිබේ.

විශේෂයෙන්ම අද වනවිට ලොව පුරා නව කොරෝනාව වළකන එන්නතක් සම්බන්ධයෙන් වන අදහස පැතිරී යාමත් සමගින්ම ලොව පුරා සංචාරක කර්මාන්තය යථාවත්වීමේ බලාපොරොත්තු ඉහළ නැංවී ඇති අතර, එම තත්ත්වයේ ගෝලීය දියුණුව ලබන වසර දක්වාද දිවෙනු ඇතැයි පැවසෙයි.

මේ සම්බන්ධයෙන් රොයිටර් පුවත් සේවය වෙත අදහස් දක්වන ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් ඇලෙක්සැන්ඩර් ඩි ජුනිඇක්, “මේ එන්නත නිසා ආර්ථිකය වෙත වඩාත් ධනාත්මක බලපෑමක් ලැබේවි. ඒ වුණත් ගුවන් ගමන් යළිත් කැපී පෙනෙන ලෙස යථාවත්වීමක් ලබන වසරේ මැදක් වන තුරුම සිදු නොවේවි.” යනුවෙන් පවසයි.

ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ ඇස්තමේන්තුවලට අනුව මේ වසරේදී ලොව පුරා වාර්තා වන ගුවන් මගීන්ගේ සංඛ්‍යාව බිලියන 1.8ක් දක්වා පහත වැටීමට නියමිතව ඇත. 2019 වසරේදී එය බිලියන 4.5ක් විය. කෙසේ වෙතත් මෙම තත්ත්වය ලබන වසර වන විට බිලියන 2.8ක් දක්වා යථාවත් වෙනු ඇතැයි අපේක්ෂාව වී ඇත. එසේම 2020 වසරේදී ගුවන් මගීන්  හරහා ලැබුණු ආදායම ඩොලර් බිලියන 191ක් දක්වා 69% කින් අඩුවීමේ අවස්ථාවක්ද පවතින බව එම සංගමය පවසයි.

කෙසේ වෙතත් මේ වනවිට ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා (කාර්ගෝ සේවා) තුළ දියුණුවක් සිදුව පවතින අතර එහිදී ගාස්තු අය කිරීම ඉහළ යාම ඒවායේ ආදායම් ඉහළ දැමීමට හේතු වී තිබේ. ඒ අනුව මේ වසරේදී මේ දක්වා ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා තුළ ගෝලීයව ඩොලර් බිලියන 117.7ක ආදායමක් රැස් කරගෙන ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 15 % ක වර්ධනයකි. කෙසේ වෙතත් මෙලෙස ප්‍රවාහනය කෙරුණු භාණ්ඩවල  බර පසුගිය වසරට සාපේක්ෂව ටොන් මිලියන 54.2ක් දක්වා 11.6%ක ප්‍රතිශතයකින් පහත බැස තිබේ.

Views: 80