ඔක්තෝබරයේදී උද්ධමනය පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය පසුගිය ඔක්තෝබර් මාසයේදී 5.5% ක් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව මෙය පසුගිය සැප්තැම්බර් මාසයේදී පැවැති 6.4% ක උද්ධමනය හා සැසඳීමේදී කැපී පෙනෙන ලෙස උද්ධමනය පහළ බැසී‍මේ අවස්ථාවක් වී තිබේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මෙම උද්ධමනය මැනීම සිදු කරයි. ඒ අනුව 2019 ඔක්තෝබර් මාසයේදී පැවැති ඉහළ පදනම් අගය මගින් ඇති සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු වූ බව මහ බැංකුව සඳහන් කරයි.

මේ අතර ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020  සැප්තැම්බර් මාසයේදී පැවැති 12.7 සිට 2020 ඔක්තෝබර් මාසයේදී 10.6ක් දක්වා පහළ යාමද සිදුව ඇත. එසේ වුවත්, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය සැප්තැම්බර් මාසයේ පැවැති 1.4 % සිට 2020 ඔක්තෝබර් මාසයේදී 1.5 % දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත් වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික දර්ශකයෙහි වෙනස 2020 ඔක්තෝබර් මාසයේද 6.2 හි නොවෙනස්ව පැවතුණු බවත් මහ බැංකුව පවසයි.

2020 ඔක්තෝබර් මාසයේදී ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි මාසික වෙනස 0.1 % ක් ලෙස වාර්තා වී තිබේ. ආහාර කාණ්ඩයෙහි අයිතමවල දක්නට ලැබුණු මිල ඉහළ යෑම් මේ සඳහා ප්‍රධානවම හේතු වී තිබේ. ඒ අනුව 2020 ඔක්තෝබර් මාසයේදී ආහාර කාණ්ඩයේ, ප්‍රධාන වශයෙන් ලොකු ළූණු සහ සහල් මිල ගණන්වල ඉහළ යෑමක් දක්නට ලැබී ඇත. එසේ වුවත් පළතුරු සහ නැවුම් මත්ස්‍ය මිල ගණන්හි පහළ යාමක් වාර්තා වී තිබේ.

එසේම වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය 2020 සැප්තැම්බර් මාසයේදී පැවැති 4.8 % සිට 2020 ඔක්තෝබර් මාසයේදී 4.5%ක් දක්වා පහළ ගොස් තිබේ. ඊට අමතරව වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2020 සැප්තැම්බර් මාසයේදී පැවැති 4.3 % සිට 2020 ඔක්තෝබර් මාසයේදී 4.2 % ක් දක්වා සුළු වශයෙන් පහළ ගොස් තිබේ.

Views: 79