ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් වෙත අපහාස කිරීම ගැන MTV/සිරසට එරෙහිව අධිකරණ නියෝග

කොවිඩ්-19 වැළදීම සම්බන්ධ පරීක්ෂණ කිරීම සදහා ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් විසින් වේගවත් ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල ආනයනය කිරීම පිළිබඳ සඳහන් කරමින් නොවැම්බර් 11, 13, 16 සහ 19 යන දිනවල සිරස නිව්ස් ෆස්ට් මගින් සිදු කරන ලද ව්‍යාජ හා අපහාසාත්මක ප්‍රවෘත්ති අංග කිහිපයක් සම්බන්ධයෙන් එම ආයතනයට එරෙහිව අධිකරණ නියෝගයක් ඉදිරිපත් කර ඇතැයි ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගම පවසයි.

මෙහිදී මහජනතාව නොමඟ යැවීමට හා එමගින් ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් හා ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම් වල සභාපතිවරයාට අපහාස කිරීම සඳහා ද්වේෂ සහගත ලෙස නිර්මාණය කරන ලද අසත්‍ය ප්‍රවෘත්ති නැවත නැවතත් එම නාලිකාව වෙතින් ප්‍රචාරණය කර  ඇතැයි එම සමාගම සඳහන් කරයි.

මෙහිදී පැමිණිලිකාර පාර්ශ්වය විසින් මෙමගින් ඇතිවූ අපකීර්තිය හේතුවෙන් එයට එරෙහිව රු. බිලියන 2 ක වන්දි මුදලක් ඉල්ලා අධිකරණයේ නඩුවක් ගොනු කර තිබේ.

ඒ අනුව, ඊයේ නිකුත් කර ඇති අධිකරණ නියෝගය මගින්  MTV ආයතනයේ කිසිදු පාර්ශවයකට, ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් ආයතනයට සහ  එහි සභාපතිවරයාට  කුමන හෝ ආකාරයකින් අපහාස කිරීම වලක්වා ඇතැයි ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගම පවසයි.

මෙහිදී අදහස් දක්වන ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් ආයතනය, විත්තිකාර නාලිකාව සෑම විටම නීතිවිරෝධී ලෙස සහ පැමිණිලිකාර ආයතනයේ  අයිතිවාසිකම් උල්ලංඝණය  කරමින් ඔවුන්ට එරෙහිව  ද්වේෂ සහගත ලෙස කටයුතු කර ඇති බවට ප්‍රකාශ සිදු කර තිබේ.

පැමිණිලිකාර පාර්ශවය  විශේෂයෙන් කියා සිටියේ ජෝර්ජ් ස්ටුවර්ට්ස් සහ දෙරණ මාධ්‍ය ජාලයේ  සභාපති දිලිත් ජයවීර සහ කැපිටල් මහාරාජා සභාපති රාජේන්ද්‍රම් රාජමහේන්ද්‍රන් (කිලී මහාරාජා) යන මහත්වරුන්ගේ නායකත්වයෙන් යුත් මාධ්‍ය ආයතන අතර මතභේදයක් නිසා මෙම  තත්ත්ව හටගෙන ඇති බවයි.

ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, රුවන්ත කුරේ, නීතිඥ එස්. වසන්තකුමාර් නයිල්ස් යන මහත්වරුන් පෙනී සිටි බවත්, නීතිවේදී උපදේශන පහසුකම් සැපයීම නීතිඥ සනත් විජේවර්ධන විසින් සිදු කළ බවත් ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගම වැඩිදුරටත් පවසයි.

Visits: 69