“පිටකොටුවේ වියළි ආහාර හා ගොඩනැගිලි ද්‍රව්‍ය තොග බඩු වෙළෙඳසැල්ද පෑලියගොඩ ගෙන එනවා” පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය විවෘත කරමින් අගමැති මහින්ද පවසයි

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය (Manin Market) ඊයේ දිනයේදී (නොවැම්බර් 20දා) අගමැති හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් විවෘත විය. එහිදී සමරු ඵලකය නිරාවරණය කරමින් වෙළඳ සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යතුමා එහි නිරීක්ෂණයකටද එක් විය.

පහසුකම් රැසකින් සමන්විත මෙම නව මැනිං වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු අගමැතිවරයාගේ උපදෙස් පරිදි කඩිනම් කෙරුණු බව අගමැති කාර්යාලය පවසයි. මහල් හතරකින් සමන්විත පැලියගොඩ මැනිං වෙළද සංකීර්ණය 03 වෙනි මහල දක්වා පිහිටි සෑම වෙළඳසැලකටම එළවළු ප්‍රවාහන ලොරි ගෙන ඒමට හැකිවන සේ සකසා තිබීම විශේෂත්වයකි.

අක්කර 2 කට සීමා වී තිබුණු මැනිං වෙළඳ සංකීර්ණය අද වනවිට අක්කර 13.5 ක් පුරා විහිදෙන අංග සම්පූර්ණ තොග වෙළඳ සංකීර්ණයක් බවට පත්ව තිබේ. මේ සඳහා වැය වු මුළු මුදල රුපියල් බිලියන 6.5 කි.

මෙහිදී අදහස් දක්වා ඇති අගමැතිවරයා, “පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය (Manin Market) විවෘත කිරීමට ලැබීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා. කොවිඩ්-19 තත්ත්වය තුළ වුවත් අපි අපේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක රටේ සංවර්ධන කටයුතු කිසිවක් අඩාල කර නැහැ.” යනුවෙන් පවසා තිබේ.

විශේෂයෙන්ම වත්මන් ජනපතිවරයා, එවකට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ලෙස සිටි කාලයේ, ඒ මහතා‍ගේ උපදෙස් පරිදි 2011 දී කොළඹ මත්ස්‍ය තොග වෙළඳ සංකීර්ණය පෑලියගොඩට රැගෙන යාම සිදුවිය. එම අවස්ථාවේදීම කොළඹ එළවළු වෙළඳ සංකීර්ණයද පෑලියගොඩට ගෙන යාමට මූලික සැලසුම් සකස් කෙරුණු අතර  මැනිං වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු 2013 වර්ෂයේදී ආරම්භ කෙරී ඇත.

මෙම වෙළඳ සංකීර්ණයේ වෙළඳසැල් 1,192 ක්, වාහන 600ක ප්‍රමාණයක් නැවැත්වීමේ පහසුකම් සහිත රථගාලක්, සේවකයින් සඳහා විවේකාගාර, වෛද්‍ය පහසුකම් සැපයීමේ මධ්‍යස්ථාන, බැංකු, ආපනශාලා, අධිශීත ගබඩා (Cool Room), හෝටල් ඇතුළු පහසුකම් රැසක් පවතී.

“මේ කටයුත්ත සිදු කරද්දී, නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර ඇතුළු පිරිස සිහිපත් කරන්න ඕනි. ඔවුන්ගේ අධික්ෂණය යටතේ මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පසුගිය දිනවල කඩිනමින් සිදුකරන්න අපිට පුළුවන් වුණා.” අගමැතිවරයා පවසා තිබේ.

විශේෂයෙන්ම කොළඹ නගරයේ අධික වාහන තදබදයට විසඳුමක් ලබාදීමේ ක්‍රියාවලියේදී වැඩිම අවධානයක් යොමු වූයේ කොළඹ මාළු වෙළඳ සංකීර්ණය සහ කොළඹ මැනිං වෙළඳ සංකීර්ණය පෑලියගොඩට ගෙන යාම බව යැයිද අගමැතිවරයා මෙහිදී සඳහන් කර ඇත.

“මාළු, එළවළු තොග වෙළෙඳාම පමණක් නෙමෙයි පිටකොටුවේ පවත්වාගෙන යන වියළි ආහාර තොග බඩු සහ ගොඩනැගිලි ද්‍රව්‍ය තොග බඩු ද ඉදිරියේ දී පෑලියගොඩ ගෙන යන්න අපි කටයුතු කරනවා. පෑලියගොඩ හුවමාරුව සමඟ දිවයිනේ සෑම ප්‍රදේශයකටම ගමන් කරන අධිවේගී මාර්ග සම්බන්ධ වෙන නිසා ඉතා පහසුවෙන් මෙම තොග බඩු කොළඹට අරන් එන්න ගොවි මහතුන්ට හැකිවෙනවා. ඒ වගේම කොළඹින් පිට ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීමට පහසු වෙනවා.” අගමැතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

ගුවන් තොටුපළ අධිවේගී මාර්ගය, වරාය අධිවේගී මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගය, උතුරු අධිවේගී මාර්ගය ඇතුළු අධිවේගී මාර්ග සියල්ල සමඟ පෑලියගොඩ හුවමාරුව සම්බන්ධ බවත්, ඒ නිසා තොග බඩු ප්‍රවාහනය පහසුවෙන් රට පුරා සිදු කරන්නත් මෙය කදිම කේන්ද්‍රස්ථානයක් වන බවත් අගමැතිවරයා මෙහිදී පවසා තිබේ.

මෙම අවස්ථාව සඳහා, අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, රාජ්‍ය අමාත්‍යවරුන් වන සිසිර ජයකොඩි, ප්‍රසන්න රණවීර, ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සහන් ප්‍රදීප්, කෝකිලා ගුණවර්ධන, නලීන් ප්‍රනාන්දු, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව ඇත.

Views: 89