නිෂ්පාදන අංශ සමාගම් කොටස් මිලදී ගැනීම් සඳහා උනන්දුව වැඩිවෙයි

අද දිනයේදී  (නොවැම්බර් 20) කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු තුළදී දර්ශක අගයන් ඉහළ යාම සඳහා ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී හි කොටස් මිල ගණන් ඉහළ යාම මෙන්ම ටෝකියෝ සිමෙන්ට් (ලංකා) පීඑල්සීහි නව ආයෝජනය හරහා ඒ වෙත ඉහළ ආයෝජන ආකර්ෂණයක් හිමිවීමත් හේතු වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එසේම දිනය තුළ නිෂ්පාදන අංශයේ සමාගම් තුළ ආයෝජක මිලදී ගැනීම් තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 6,073.17ත් ඒකක 6,107.23ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 6,085.00 ක් බවට පත්විය. ඊ‍යේ (නොවැම්බර් 19) දිනයට සාපේක්ෂව එය ඒකක 24.11 ක් එනම් +0.40%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනය තුළ පිරිවැටුම සඳහා කිසිදු පෙර කළ සාකච්ඡාවකට අනුව සිදු වූ ගනුදෙනු දායක වී නොමැති අතර සාමාන්‍ය ගනුදෙනු පිරිවැටුම සඳහා දායකත්වය ලබා දී තිබේ.

එසේම ඊයේ දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 111ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 62ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (+11.6), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+3.3), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (+1.8),  රිචර්ඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී RICH (+1.4), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+1.34),  සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (-3.57), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (-2.48), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (-1.87),  කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-1.46සහ සී ටී හෝල්ඩිංග්ස් පීඑල්සී CTHR (-0.83යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,390.27 ක අගයක් ගත් අතර, එය ඊයේ (නොවැම්බර් 19) දිනයට සාපේක්ෂව ඒකක 2.39 ක එනම් +0.10%ක ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.50ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (නොවැ 19දා) වාර්තා කළ රුපියල් බිලියන 1.40ට සාපේක්ෂව 7%ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.65ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 6.94%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 89.57ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 289.11 ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 199.54කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 47.91ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය වැලිබල් පවර් එරත්න පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 17.13කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 130.79ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 384ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 26% ක අගයක් ගෙන තිබේ. නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 348ක සහ රුපියල් මිලියන 324ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 295