“ඉදිරි වසර පහ තුළ විශේෂ බදු වෙනස්කම් සිදු නොවන බවට රජය පොරොන්දු වෙනවා” – රාජ්‍ය ඇමති කබ්රාල් ව්‍යාපාරිකයන් ඉදිරියේ පවසයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගියදා ඉදිරිපත් කරන ලද 2021 අයවැය යෝජනා හරහා රජයේ ව්‍යාපාර මිත්‍රශීලී ඉදිරි දැක්ම ඉතාමත් හොඳින් පිළිබිඹු වන බවත්, එම යෝජනා සම්බන්ධයෙන් රජය ස්ථාවර, සියල්ල අන්තර්ග්‍රහණය වූ සහ සංගතභාවයෙන් යුක්තව කටයුතු කරන බවත් මුදල්, ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ඊයේ (නොවැම්බර් 20) පෙරවරුවේදී ඩේලි එෆ්ටී පුවත්පත සහ කොළඹ විශ්වවිද්‍යාලයේ MBA (Master of Business Administration) ආදිශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කළ 2021 අයවැය සාකච්ඡාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කර තිබේ.

ඒ අනුව රජයේ මූලික අරමුණ වන්සේ දේශපාලන ස්ථාවරත්වය ඇති කරගැනීම බවත්, ඉදිරි වසර පහ තුළදී රජය ලෙස විශේෂ බදු වෙනස් කිරීමක් සිදු නොකිරීමට පොරොන්දු වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර ඇත.

එසේම තවදුරටත් රුපියල ස්ථාවරව පවත්වාගෙන යන බවට සහ අඩු පොළී අනුපාත පවත්වාගෙන යන බවට සහතික වෙමින් කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මතුව ඇති අභියෝග හමුවේ වඩාත් නිදහස් පරිසරයක් තුළ සිය ව්‍යාපාර පුළුල් කිරීම සඳහා පෞද්ගලික අංශය වෙත සහාය ලබා දීමත් රජය කටයුතු කරන බවත් ඔහු මෙහිදී පවසා ඇත.

“පළමුවෙන්ම අපිට ස්ථාවර රජයක් පිහිටුවීමට වගේම එකම අදහසක පිහිටීමටත් අවශ්‍යයි. අද අප සතුව වඩාත් ස්ථිර ප්‍රතිපත්ති සහ ඉදිරියට ගෙන යන දිගු කාලීන සැලසුම් තිබෙනවා. එතැනදී අපි වඩාත් ශක්තිමත් සාර්ව ආර්ථික මූලධර්මයන් වෙත පිවිසිය යුතු බව රජය ලෙස අපි දන්නවා. එසේ නොවුණහොත් ඒවා ව්‍යාපාර වෙත බලපානවා. එතැනදී වඩාත් ස්ථාවර රුපියලක් සහ ස්ථාවර පොළී අනුපාත පවත්වාගෙන යන්නට අපි කටයුතු කරනවා.” කබ්රාල් මහතා වැඩිදුරටත් පවසා තිබේ.

මෙම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර් ආටිගල, ඇක්සස් ඉන්ජිනියරිං සභාපති සුමල් පෙරේරා, 99x ටෙක්නොලොජි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මනෝ සේකරම්, එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී හනීෆ් යුසුෆ්, හේමාස් හෝල්ඩිංග්ස් සමූහයේ  ප්‍රධාන විධායක නිලධාරිනී කස්තුරි විල්සන්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර, හේලීස් සම සභාපති ධම්මික පෙරේරා, එස්සී සෙකියුරිටීස් හි පර්යේෂණ අංශ ප්‍රධානී චරිත ගුණසේකර, ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ්  බැංකුවේ ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරී බිගුමාල් තෙවරතන්ත්‍රී, ප්‍රයිස් වෝටර්හවුස් කූපර්ස් ආයතනයේ අධ්‍යක්ෂ චාර්මීන් තිලකරත්න සහ කොළඹ විශ්වවිද්‍යාලයේ MBA ආදිශිෂ්‍ය සංගමයේ සභාපති රංග රත්නායක යන මහත්ම මහත්මීන් සහභාගි වී සිටියහ.

Views: 326