පළමු මාස 6දී කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී සමූහයේ ආදායම් 7%කින් පහළට

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගමක් වන කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී සමූහය 2020 සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වූ 2020/2021 මූල්‍ය වර්ෂයේ පළමු මාස හය තුළදී (වසරේ පළමු අර්ධය) උපයා ගැනීමට සමත් වූ ආදායම රුපියල් බිලියන 48.6ක් බව පවසයි. එහෙත් එය පසුගිය මූල්‍ය වර්ෂයේ එම කාලසීමාවේදී සමූහය අත්පත් කරගත් ආදායමට සාපේක්ෂව 7%ක අඩුවීමක් බවද සමාගම සඳහන් කරයි.

2020 සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වූ මෙම මාස හය තුළදී සිය කාර්ය සාධනය පිළිබඳව වාර්තාව ඉදිරිපත් කරමින් කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී සමාගම මේ කරුණු අනාවරණය කර සිටියි.

කෙසේ වෙතත් මෙම කාලසීමාව තුළදී සමූහය බදු පෙර ලාභය ලෙස රුපියල් බිලියන 6ක්ද බදු පසු ලාභය ලෙස රුපියල් බිලියන 4.4ක්ද වාර්තා කර තිබීමට සමත්ව ඇත. එහිදී පෙර වසරේ එම කාලසීමාවේදී සමූහය වාර්තා කළ රුපියල් බිලියන 2.6ක බදු පෙර ලාභය සහ 1.1 බදු පසු ලාභය හා සාපේක්ෂව මෙම ලාභ හිමි කරගැනීමත් කැපී පෙනෙයි. එහිදී වියදම් පාලනය හරහා සිදු කරගත් පිරිවැය කාර්යක්ෂමතාව තුළින් මෙම තත්ත්වය ළගා කරගත් බව සමාගම පවසයි.

සමූහය සඳහන් කරන ආකාරයට සිය පාම් ඔයිල් වගා අංශය තුළ මේ වසරේ පළමු මාස 6 තුළදී රුපියල් බිලියන 14.4ක ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබේ. එහෙත් එය පසුගිය වසරේ එම කාලසීමාවේදී එම ක්ෂේත්‍රය හරහා ලැබූ ආදායම් මෙන් 10%ක අඩුවීමකි.

මේ අතර, මෙම මාස හයක කාලසීමාවේදී කටුපොල් මද (පාම් කර්නල්) මිල ගණන් 21%කින් ඉහළ යාම නිසා තෙල් සහ මේද අංශය තුළ ඉපැයූ ආදායමද පළමු අර්ධයේදී රුපියල් බිලියන 11.2 ක් ලෙස වාර්තා වූ බව සමාගම පවසයි. පසුගිය මූල්‍ය වසරේ පළමු අර්ධයේදී එය රුපියල් බිලියන 10.4ක් වී තිබේ.

කාර්සන්ස් කුම්බර්බැච් සමූහයේ පානවර්ග අංශය හරහා මෙම මාස හයක කාලය තුළදී රුපියල් බිලියන 22.1ක ආදායමක් රැසක් කරගැනීමට සමත්ව ඇත. එය පසුගිය වසරේ එම අංශය හරහා ඉපැයූ ආදායම මෙන් 10%ක අඩුවීමකි. දේශීය වශයෙන් සිදු වූ සිය නිෂ්පාදන අලෙවිය අඩුවීම මෙන්ම සංචාරක කර්මාන්තයේ කඩා වැටීම සහ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම ඊට හේතුව බව සමාගම පවසයි.

මේ අතර සමාගමේ වත්කම් කළමනාකරණ අංශය තුළ මෙම වසරේ මාස හයක කාලය තුළදී ආදායමේ 45% ක වර්ධනයක් අත්පත් කරගනිමින් රුපියල් මිලියන 413.8ක ආදායමක් හිමි කරගැනීමට සමත්ව ඇත. එහිදී විශේෂයෙන්ම කොටස් වෙළෙඳ පොළ සමස්ත කොටස් මිල දර්ශකය මෙම මාස හයක කාලය තුළදී 30.91%ක යථාවත්වීමක් පෙන්නුම් කිරීම ඊට දායක වූ බව සමාගම පවසයි.

එසේම කාර්සන්ස් කුම්බර්බැච් සමූහයේ ලෙෂර් අංශය යටතේ ක්‍රියාත්මක හෝටල් දෙකක් තාවකාලිකව වසා දැමීමක් සිදු වුණු බවත්, පසුගිය මැයි මාසයෙන් පසුව ඒවා යළි විවෘත කිරීමේදී සෞඛ්‍ය සහ ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පවත්වාගෙන යාමට කටයුතු කළ බවත් සමාගම පවසයි. ඒ අනුව මෙම ව්‍යාපාරික බාධාවීම්  හමුවේ මෙම මාස  හයක කාලය තුළදී එම අංශය තුළ රුපියල් මිලියන 88.9ක ආදායමක් ඉපැයීමට සමත් වූ බවත් එය පසුගිය වසරේ එම කාල සීමාව හා සාපේක්ෂව ආදායමේ 68෴ක අවප්‍රමාණයවීමක් බවත් සමාගම සඳහන් කරයි.

මීට අමතරව ගෙවුණු මාස හයක කාලය තුළදී වසංගතයේ දරුණු බලපෑම එල්ල වූ එම සමූහයේ දේපළ වෙළෙඳාම් අංශය තුළද ආදායමද රුපියල් මිලියන 121.9ක් ලෙස සටහන් වී තිබේ. එය පසුගිය වසරට සාපේක්ෂව  12%ක අඩුවීමක් පෙන්නුම් කරන බව සමාගම පවසයි. එසේම 2020 සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වූ මාස හයක කාලය තුළදී එම අංශය තුළ බදු පසු ලාභය රුපියල් මිලියන 57.5ක් ලෙස පෙර වසරට සාපේක්ෂව 30%ක අඩුවීමක් දක්වා තිබේ.

Visits: 161