අයවැය 2021 අද පාර්ලිමේන්තුවට

  • වත්මන් රජයේ මංගල අයවැය / ශ්‍රී ලංකාවේ 75 වැනි අයවැය මෙයයි.
  • 2021 වසරේ රජයේ සේවා වියදම් සඳහා රුපියල් බිලියන 2687ක් සහ ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව රුපියල් බිලියන 2900ක ණය ලබා ගැනීමට මෙවර අයවැය ඉදිරිපත් කෙරේ.

වත්මන් රජයේ මංගල අයවැය ලෙස 2021 මුදල් වර්ෂය සඳහා වන අයවැය 2021 අද දිනයේදී අගමැති, මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මෙය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 75 වැනි අයවැය ලෙසටද ඉතිහාසයට එක්වෙයි.  

ඒ අනුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2021 අයවැය කථාව ඉදිරිපත් කිරීම සඳහා අද (17) පස්වරු 1.40ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ඊයේ නිවේදනය කර තිබුණි.

ඉන් පසුව ගරු මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය ප්‍රකාශය සිදු කරනු ඇත. එය මෙරට 75 වැනි අයවැය වාර්තාව ලෙස සැලකේ.

2021 මුදල් වර්ෂයට අදාලව රජයේ සේවා වියදම් සඳහා රුපියල් බිලියන 2687ක් වෙන් කිරීම සහ ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව රුපියල් බිලියන 2900ක සීමාවකට යටත්ව ණය ලබා ගැනීමට විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබෙන බව පාර්ලිමේන්තු මහලේකම්වරයා පවසා සිටියි.

වාර්තාවලට අනුව රාජ්‍ය සේවා වියදම් සඳහා වන රුපියල් බිලියන 2687ව් රුපියල් බිලියන 1,714ක් දැනට පවතින වියදම් සඳහා ගෙවීමටත්, රුපියල් බිලියන 963ක් අමාත්‍යාංශ වෙත වෙන් කිරීමටත් යෝජනා වී ඇත.   

අග්‍රාමාත්‍යවරයා විසින් අයවැය ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 වැනිදා සිට 21 වැනිදා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වේ. දෙවන වර කියවීම පිළිබඳ ඡන්ද විමසීම 21 වැනිදා පස්වරු 5.00ට පැවැත්වේ. ලබන 18 වැනිදා සිට 20 වැනිදා දක්වා පාර්ලිමේන්තුව පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවත්වේ.

ඉන් අනතුරුව අයවැය කාරක සභා අවස්ථාව ලබන 23 වැනිදා සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වේ. දෙසැම්බර් 10 වැනි දින පස්වරු 5.00ට ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත. අයවැය ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන අද (17) දිනයේ සිට අයවැය විවාදය පැවැත්වෙන සම්පූර්ණ කාල සීමාව තුළ සියළු සෞඛ්‍ය මාර්ගෝපදේශයන් සහ රෙගුලාසීන්ට අනුකූලව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බවද පාර්ලිමේන්තු මහලේකම්වරයා සඳහන් කර තිබේ.

විදේශ තානාපතිවරු සහ මුදල් අමාත්‍යංශයේ අවසර ලත් නිලධාරීන්ට පමණක් පාර්ලිමේන්තු රැස්වීම සඳහා ආරාධනා කර ඇති අතර අයවැය ප්‍රකාශය පැවැත්වෙන කාලසීමාව තුළ කථානායක ගැලරියේ සෞඛ්‍ය ආරක්ෂිත විධි විධානයන්ට යටත්ව ආසන පනවා ඇත. මහජන ගැලරිය සහ මාධ්‍ය ගැලරිය තවදුරටත් වසා තැබෙනු ඇත.

අයවැය ප්‍රකාශය සිදු කිරීමෙන් පසු මුදල් අමාත්‍යවරයා විසින් සම්ප්‍රදායානුකූලව පවත්වන තේ පැන් සංග්‍රහය මෙවර පැවැත්වෙන නමුත් එය පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්, විදේශ තානාපතිවරුන් සහ ආරාධිතයින්ට පමණක් සීමා වනු ඇත.

Views: 178