අයවැය යෝජනා ඉදිරිපත් වන තෙක් ආයෝජකයෝ කල් මැරීමක

අද (නොවැම්බර් 16) වැනිදා කොළඹ කොටස් හුවමාරුව තුළ ගනුදෙනු සාර්ථක ආරම්භයක් පෙන්නුම් කළද, රට තුළ වාර්තා වන කොවිඩ්-19 වසංගතයේ ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව පිළිබඳ වන වාර්තාවීම් ඉහළ යාමත් සමගින්ම වෙළෙඳ පොළ යම් පසුබැසීමක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

එහිදී විශේෂයෙන්ම කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නතේ ප්‍රායෝගික ගැටලු කිහිපයක් මේ වනවිට මතුව තිබීමත් ආයෝජකයන් තුළ කනස්සල්ල මතු කර තිබේ. මේ අතර බොහෝ ආයෝජකයන් හෙට දිනයේදී 2021 වසරේ අයවැය යෝජනා ඉදිරිපත් කරන තෙක් කල් මරමින් සිටින බවත් තැරැව්කාර සමාගම් සඳහන් කරයි.

ඒ අනුව මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 6,065.18ත් ඒකක 6,111.99ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 6,076.92 ක් බවට පත්විය. පසුගිය සිකුරාදා (නොවැම්බර් 13) දිනයට සාපේක්ෂව එය ඒකක 5.50 ක් එනම් -0.09%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව සම්පත් බැංකුව, සිලෝන් ටොබැකෝ කම්පැනි, රේනුකා හොටෙල් පීඑල්සී සහ එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී සිදු කළ ගනුදෙනු අද පිරිවැටුමෙන් 14%ක් සඳහා දායකත්වයක් ලබා දී තිබේ.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 79ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 98ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ සී ටී හෝල්ඩිංග්ස් පීඑල්සී CTHR (+8.96), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (+3.92), හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී HHL (+3.69),  එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී SPEN (+1.96), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (+1.87),  රිචර්ඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී RICH (-4.2), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (-4.14), සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී CCS (-2.99),  සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (-2.28) සහ කොමර්ෂල් බැංකුව COMB (-2.27) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,386.69 ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (නොවැම්බර් 13) දිනයට සාපේක්ෂව ඒකක 14.68 ක එනම් -0.61%ක පහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.39ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා (නොවැ 13දා) වාර්තා කළ රුපියල් බිලියන 1.93ට සාපේක්ෂව 28%ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.65ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 7.06%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 113ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 138.92 ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 25.92කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 47.64ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 72.43කි. එසේම හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 95.99ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 321ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 23% ක අගයක් ගෙන තිබේ. නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 259ක සහ රුපියල් මිලියන 242ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 214