පේරාදෙණියේ පර්යේෂකයන්ගෙන් වෛරස් නාශක මුහුණු ආවරණයක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නිෂ්පාදිත වෛරස් නාශක මයික්‍රෝ හා නැනෝ අංශුවලින් සමන්විත මුහුණු ආවරණයක් හඳුන්වා දෙන්නට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් ඇතුළු කණ්ඩායමක් සමත්ව ඇතැයි පවසයි. එලෙස ඔවුන් අතින් නිපදවුණු පළමු මුහුණු ආවරණයක් ඊයේ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන  මහතා වෙත ඉදිරිපත් කෙරුණු බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.

මුහුණු ආවරණයක් මගින් සාමාන්‍යයෙන් සිදු වන විෂබීජ වළක්වා ලීමට වඩා මෙම මුහුණු ආවරණයේ විශේෂත්වය ලෙස වෛරස් නාශක පෙරණයකින් සමන්විතවීම බව පැවසෙයි. එමෙන්ම පෙරණයන් තුනකින් සමන්විත වන මෙම මුහුණු ආවරණය සේදුම් වාර 20ක් දක්වා භාවිතා කළ හැකි වීමත්, මාසයක කාලයක් කිසිදු සේදීමකින් තොරව භාවිත කළ හැකිවීමත් විශේෂ ලක්ෂණ වෙයි.

එසේම වෛරස අංශු වෙන් කරවා එය කිසිදු ආකාරයකින් ශරීරගතවීමකට ඉඩ නොතබමින් වෛරස විනාශ කිරීම මෙමගින් සිදු වන අතර මුහුණු ආවරණය නිපදවීම සඳහා භාවිත කරන රෙදි වර්ග සඳහාද සෞඛ්‍ය ආරක්ෂක ඇදුම්වල කොලරය, අත් දෙකෙහි මැණික් කටුව ආශ්‍රිත ආවරණ සඳහාද මෙම තාක්ෂණය යොදා ගත හැකි ආකාරයද පර්යේෂකයන් විසින් මෙහිදී අමාත්‍යවරයා වෙත පෙන්වා දී ඇත.

මීට අමතරව වායු සමීකරණ යන්ත්‍ර සඳහා පෙරණයක් ලෙස යෙදිය හැකි මෙම වෛරස් නාශකය පිළිබඳවද පේරාදෙණිය විශ්වවද්‍යාලයේ කණ්ඩායම විසින් කරුණු පෙන්වා දී තිබේ. ඒ අනුව මෙම නිෂ්පාදනය දේශීය මෙන්ම විදේශීය වෙළෙඳ පොළ සඳහා අපනයනය කිරීමේ ධාරිතාවයක් දක්වා වැඩිදියුණු කළ යුතු ක්‍රමවේද පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු බව අමාත්‍යාංශය පවසයි.

මෙම අවස්ථාව සඳහා පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී මහාචාර්ය ගාමිනී රාජපක්ෂ සහ කණ්ඩායමේ සාමාජිකයන් වන වෛද්‍ය චමින්ද හේරත්, ගයාන් තිලකරත්න සහ රුවන් නානායක්කාර සහ දේශීය ඇගලුම් සංසදයේ සභාපති හේමන්ත කුමාර යන මහත්වරුන් සහභාගි වී තිබේ.

Views: 71