“දක්ෂතාව සහිත ප්‍රවීණයන් අතට තේ කර්මාන්තය පත් වුණොත් ඉදිරි වසර 5දී ඉන් ඩො. බිලියන 5ක අපනයනය ආදායමක් උපයන්නට හැකි වේවි” – ඩිල්මා සිලෝන් ටී නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය උපායමාර්ගිකව කළමනාකරණය කළ හැකි සුදුසුකම් සහ හැකියාවන් සහිත විශේෂඥයන් පිරිසක් අතට පත්වුවහොත්, ඉදිරි වසර පහ ඇතුළතදී ඉන් උපයා ගත හැකි අපනයන ආදායම ඩොලර් බිලියන  5ක් බවට පත් කළ හැකි බව ඩිල්මා සිලෝන් ටී පීඑල්සී සමාගමේ නිර්මාතෘ මෙරිල් ජේ ප්‍රනාන්දු මහතා පවසයි.

2020 මාර්තු 31 වැනිදායින් අවසන් වුණු මූල්‍ය වර්ෂය සඳහා වන එම සමාගමේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින්  ඒ මහතා මේ කරුණු සඳහන් කර තිබේ. විශේෂයෙන්ම අද වනවිට මේට තේ කිලෝවක අපනයන වටිනාකම රුපියල් 600ත්, 2000ත් අතර පවතින බවත් හෙතෙම පවසයි.

“මේ තේ කර්මාන්තය හැකියාවන් සහිත විශේෂඥයන් පිරිසකගේ අතින් උපායමාර්ගිකව කළමනාකරණයට ලක් වුණොත්  ඉදිරි වසර පහේදී ඉන් උපයන අපනයන ආදායම ඩොලර් බිලියන පහක් බවට පත් කරගත හැකි වේවි.” ඔහු පවසයි.

කෙසේ වෙතත් මෙම තත්ත්වය ළගා කරගැනීම සඳහා තේ තොග වශයෙන් අපනයනය කිරීම අධෛර්යමත් කරමින් අගය  එකතු කළ නිෂ්පාදන සඳහා වන අවස්ථාව ඉහළ දැමීම වැදගත් බවත් හෙතෙම අවධාරණය කරයි. එසේම ඒ හරහා ලැබෙන සමාජ සහ ආර්ථික ප්‍රතිලාභ සම්බන්ධයෙන්ද ධෛර්යමත් කළ යුතුව තිබෙන බවත් ඔහු පවසයි.

“මේ අගය එකතු කළ අපනයන හරහා ලැබෙන අමතර ආදායමෙන් කොටසක් ගුණාත්මක බවින් ඉහළ සන්නාම ප්‍රවර්ධනය සඳහා යොදා ගන්න පුළුවන්. ඒ හරහා මේ තේ තොග අපනයනය කරන්නන්ට ඔවුන්ගේ කටයුතු වෙනස් කිරීමට ධෛර්යයක් ඇති කරාවි.” ඔහු පවසයි.

මේ අතර, අද වනවිට ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය සැලකිය යුතු ලෙස පහත වැටී ඇතැයි පවසන ඩිල්මා ටී සභාපතිවරයා මේ වසරේදී එය කිලෝග්‍රෑම් මිලියන 200ක් වනු ඇතැයිද සඳහන් කරයි.

“ලංකාවේ තේ නිෂ්පාදනයේ වාර්තාගත ඉහළම අගයකට පත්වුණේ 2013 වසරේදීයි. එවර තේ කිලෝග්‍රෑම් මිලියන 340ක් නිපදවූවා. එහෙත් ගෙවුණු කාලසීමාවේදී එම ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 300 දක්වා පහත බැස්සා. 2020 වසරේදී එම ප්‍රමාණය කිලොග්‍රෑම් මිලියන 200ක් දක්වා තවත් පහතට වැටේවි.”

මෙහිදී ගෝලීය තේ නිෂ්පාදනය අතින් කෙන්යාව ශ්‍රී ලංකාව පසුකරමින් ඉතා හොඳ මට්ටමේ වැඩි තේ නිෂ්පාදනයක් සිදු කරමින් සිටින බවත් ඔහු පවසයි. ඒ අනුව මේ වසරේදී කෙන්යාවේ තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 500ක් වෙනු ඇතැයිද ඔහුගේ අදහස වී තිබේ.

“කෙන්යාවේ තේ නිෂ්පානදනය ආසන්න වසර කිහිපයේදී කැපී පෙනෙන ලෙස ඉහළ ගියා. එය වඩාත් ලාබාල තේ කර්මාන්තයක් වීමත්, එහි පවතින නැවුම් පොළොව සහ අඩු සේවක පිරිවැටුම යනාදියේ ප්‍රතිලාභත් එම කර්මාන්තය ලබමින් සිටිනවා. 2013දී එරට තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 432ක්. එය 2019 දී කිලෝග්‍රෑම් මිලියන 459ක් වුණා. මේ වසරේදී එය කිලෝග්‍රෑම් මිලියන 500ක් පමණ වේවි.”

එහිදී විශේෂයෙන්ම කෙන්යාව CTC – (crush, tear, curl)  තේ නිෂ්පාදනයේ සුවිශේෂීතාවක් දක්වමින් සිටින බවත් එය එරට තේ නිෂ්පාදනය හරහා ලබන ආදායම වැඩි කිරීමට හේතු වී ඇති බවත් මෙරිල් ජේ ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

එසේම දැනට වසර කිහිපයකට පෙරාතුව බහුජාතික සමාගම් කිහිපයක් සහ ඔවුන්ගේ මෙරට නියෝජිතයන් පිරිසක් එක්ව මෙරට තේ නිෂ්පාදනයත් CTC තේ මාදිලියට හුවමාරු කිරීම සඳහා රජයන් දැනුවත් කළ බවත් ඔහු පවසයි. එහෙත් තමන් මේ පිළිබඳව දැනගත් වහාම ඒ සම්බන්ධයෙන් රජය දැනුවත් කළ බවත්, මෙරට අපනයනය වෙළෙඳ පොළ පවතින්නේ අපගේ පාරම්පරික, ලෝක සම්මත තේ සඳහා ලැබෙන උපරිම මිලත් සමගින් බවත්, ඒ නිසා මෙම CTC නිෂ්පාදනය වෙත අවධානය යොමු කිරිම වැදගත් නොවන බවත් පෙන්නුම් කළ බවත් ඔහු පවසයි.

“මීට අමතරව ලංකාවේ තේ කර්මාන්තය වෙත සිදුව තිබෙන තවත් දරුණු පහරක් තමයි මේ තේ අලෙවිකරුවන් විසින් තේ ආනයනය කරලා ප්‍රති අපනයනය කිරීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙසට රජයෙන් ඉල්ලා සිටීම. වාසනාවකට මුදල් අමාත්‍යාංශයේ අයවැය යෝජනාවලින් එය ඉවත් කෙරුණා. අලෙවිකරුවන්ගේ එකම අභිප්‍රාය වෙන්නේ ලාභයයි. ඔවුන්ට එය ලැබෙන්නේ කොහෙන්ද කියන දේ වැදගත් නැහැ. ඔවුන් මිල තමන්ගේ එකම ආයුධය බවට පත් කරගනිමින් තමන්ගේ ව්‍යාපාරය රැකගන්න එකිනෙකා සමගින් තරග වදිනවා.”

ඒ අනුව මෙලෙස ප්‍රතිඅපනයනය වෙනුවෙන් මාස හයක කාලයකට තේ ආනයනය සඳහා අවසරය ලබා දීමක් සිදු වුවහොත් සිය තේ නිෂ්පාදනවල මිල ගණන් එහි නිෂ්පාදන පිරිවැයට වඩා පහතට වැටෙන බවත්, එය කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාකරන බවත් ඩිල්මා සිලෝන් ටී නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පවසයි.

Views: 411