රාජා එදිරිසුරිය කොළඹ වරාය නගරයේ නව විධායක ව්‍යාපෘති කළමනාකරණ අධ්‍යක්ෂ ධුරයට

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ (USDA) සභාපතිවරයා ලෙස කටයුතු කළ රාජා එදිරිසුරිය මහතා, කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ නව විධායක ව්‍යාපෘති කළමනාකරණ අධ්‍යක්ෂ ලෙස පසුගියදා වැඩ භාරගත් බව කොළඹ වරාය නගරය පවසයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදු කර තිබේ. ඊට අදාළව ඉදිරිපත් කරනු ලැබූ කැබිනට් පත්‍රිකාවකට කැබිනට් මණ්ඩලය වෙතින් පසුගියදා අනුමැතිය ලැබී තිබේ.

වෘත්තියෙන් කීර්තිමත් සිවිල් ඉංජිනේරුවරයෙකු වන රාජා එදිරිසුරිය මහතා ඇමරිකා එක්සත් ජනපදයේ නිව්ජර්සි හි Rutgers විශ්වවිද්‍යාලයෙන් ව්‍යුහාත්මක ඉංජිනේරු විද්‍යාව පිලිබඳ උපාධිය සහ විශේෂවේදී උපාධියද, කැලිෆෝනියාවේ La Verne විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිලිබඳ ශාස්ත්‍රපති උපාධියද ලබා ගෙන ඇත. කැලිෆෝනියාවේ ලියාපදිංචි සිවිල් ඉංජිනේරුවරයෙකු ලෙස කීර්තිමත් සේවා ඉතිහාසයක් ඇති ඒ මහතා, එහි චිනෝ නගරයේ වසර 16 කට ආසන්න කාලයක් පරිපාලක හා නාගරික ඉංජිනේරු තනතුරද හොබවා තිබේ.

2006 මුල් භාගයේ දී එවකට යම් පසුබෑමකට ලක්ව තිබු මෙරට ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ විශාලතම ආයතනය වන ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ (SEC) සභාපතිවරයා ලෙසට පත්වන ඒ මහතාට, සිය වෘත්තීය මගපෙන්වීම, උනන්දුව මෙන්ම ආයතනික කාර්ය මණ්ඩලයේ කැපවීම සහ සහයෝගීත්වය තුළින් මාස 9 ක් වැනි කෙටි කාලයක් තුළ එම ආයතනය නැවත නගාසිටුවීමට හැකි වූ බව පවසයි.

ඒ අනුව එදිරිසූරිය මහතාගේ සභාපතිත්වය යටතේ, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව 2006 මුල්‍ය වර්ෂය අවසානයේදී රුපියල් මිලියන 103 ක ලාභයක් ලබා ගත් අතර එය එම ආයතනය 1981 වසරේ සිට ලාභ ලැබූ පළමු අවස්ථාව විය.

2009 දෙසැම්බරයේ දී එවකට ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුව එදිරිසූරිය මහතා මිහින් ලංකා ගුවන් සමාගමේ සභාපති ධුරය භාරගත් අතර, ඒ වනවිට මෙහෙයුම් නවතා දමා තිබුණු මිහින් ලංකා ගුවන් සේවය විධිමත් ක්‍රමවේදයකින් යළි ආරම්භ කිරීමට ඔහුට හැකිවිය.

රාජා එදිරිසූරිය මහතා බ්‍රසීලය, පේරු, ආර්ජන්ටිනාව, චිලී, කොලොම්බියාව සහ සුරිනාම් යන රටවල ශ්‍රී ලාංකා තානාපතිවරයා ලෙස ද කටයුතු කර ඇති අතර, එහිදී ශ්‍රී ලාංකාව නියෝජනය කරමින් රාජ්‍යතාන්ත්‍රික සබදතා තවදුරටත් තහවුරු කිරීමට ඔහු සමත් විය.

2013 සිට 2015 දක්වා ඔහු සේවය කළ කාලය තුළ ලතින් ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර වෙළඳ හා සංචාරක කටයුතු ප්‍රවර්ධනය  කළ අතර, බ්‍රසීලය, චිලී සහ ආර්ජන්ටිනාව යන රටවල සහය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාර තුලදී ශ්‍රී ලංකා රජයට ලබාගැනීමට හැකිවීම ඔහුගේ රාජ්‍යතාන්ත්‍රික සේවයේ සුවිශේෂී කඩයිමකි. මීට අමතරව, බ්‍රසීලයේ බ්‍රසීලියා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලාංකීය රජය වෙනුවෙන් ඉඩමක් ලබා ගැනීමට හැකිවීමද ඔහුගේ ධුර කාලය තුල ලැබූ ජයග්‍රහණයකි.

සමාජ සේවා කටයුතු සදහා ද නොපැකිලි දායකත්වය සපයා ඇති එදිරිසූරිය මහතා සුනාමි විපතින් පීඩාවට  පත් ඉඳුරුව ප්‍රදේශ වාසී ජනතාව වෙනුවෙන් ලොස් ඇන්ජලීස් හි ශ්‍රී ලංකා ප්‍රජාව සමඟ එක්ව නිවාස 39 ක් ඉදිකිරීමට කටයුතු කළේය.

යුද වාතාවරණය රට තුල ඉතා දැඩිව පැවති 2008 වසරේදී එදිරිසූරිය මහතා ඇමරිකා එක්සත් ජනපදයේ රණවිරු පදනමේ උප සභාපති ලෙස කටයුතු කරමින් ආබාධිත රණවිරුවන් වෙනුවෙන් රුපියල් මිලියන 12 ක් රැස් කිරීමට කටයුතු කළේය. එම අරමුදල් දීර්ඝ කාලයක් සේවයේ නියුතු රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් සඳහා අනුරාධපුර ප්‍රදේශයේ නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සදහා භාවිතා කරන ලදී. 

වෘත්තීය  ජීවිතය තුළ රට වෙනුවෙන් කැපවූ රාජ්‍ය සේවකයෙකු ලෙස ප්‍රකට ඔහුගේ වෘත්තීය භූමිකාවන් තුල ලැබූ ජයග්‍රහණ අද වනවිට ශ්‍රී ලංකාවේ සහ ජනතාවගේ ප්‍රතිලාභයට හේතු වී තිබීම කැපී පෙනේ.

ඒ අනුව කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ විධායක ව්‍යාපෘති කළමනාකරණ අධ්‍යක්ෂ ලෙස එදිරිසූරිය මහතාගේ පත්වීම මගින් ව්‍යාපෘතිය කෙරෙහි රජයේ ඇති ප්‍රමුඛතාව පිළිබිඹු කෙරේ.

කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය මෑතකදී ජාතික ප්‍රමුඛතා ව්‍යාපෘතියක් ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය විසින් වෙනත් අදාළ අමාත්‍යාංශ සමඟ සම්බන්ධීකරණය කරනු ලබන බව නිවේදනය කෙරුණි.

ගොඩකිරීමේ හා දියකඩනය ඉදිකිරීමේ මූලික සංවර්ධන අදියර සම්පූර්ණ කර ඇති වාරය නගරය, දැනට යටිතල පහසුකම් සංවර්ධන පළමු  අදියරෙහි අභ්‍යන්තර මාර්ග හා භූගත උපයෝගිතා පහසුකම් ඉදිකිරීම් කටයුතු වල පසුවේ. වරාය නගර සඳහා අපේක්ෂිත නීති හා නියාමන රාමුව සහිත විශේෂ ආර්ථික කලාප (SEZ) පනත මේ වසර අවසන් වීමට පෙර පාර්ලිමේන්තුව විසින් බලාත්මක කිරීමට ද අපේක්ෂිතව තිබේ.

Visits: 124