BOI කර්මාන්තශාලා තුළ දින 20කදී PCR පරීක්ෂණ 26,500ක් සිදු කරලා

ඔක්තෝබර් මස 08දා සිට 28 දින දක්වා දින 20 කාලය තුල ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) යටතේ ක්‍රියාත්මක කර්මාන්ත ශාලා තුළදී පමණක්  PCR පරීක්ෂණ 26,500කට වැඩි ප්‍රමාණයක් සිදු කර ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජය මොහොට්ටාල මහතා පවසයි.

ඒ අනුව ආයෝජන ප්‍රවර්ධන කළාප 14 තුළ පමණක් PCR පරීක්ෂණ 16,527 ක් සිදු කර ඇත. එසේම තවත් පරීක්ෂණ වාර්තා 495 ක් ලැබීමටද නියමිතව ඇතැයිද ඔහු සඳහන් කරයි. මේ හරහා දැනට කොවිඩ් ආසාධිතයින් 423 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඒ කටුනායක කළාපයෙන් 411 දෙනෙකු හා බියගම කළාපයෙන් 12 දෙනෙකු ලෙසිනි.

“අනෙක් කළාප 12 කිසිදු අසාදිතයකු වාර්තා වී නොමැත. මනා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් නිවස හෝ නේවාසිකාගාරය, ප්‍රවාහනය හා කර්මාන්ත ශාලාව යන සියළු ස්ථානයන් හිදී ආරක්ෂාව පිළිබදව දැනුවත් කිරීම් හා ආරක්ෂිත වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.” අධ්‍යක්ෂ ජනරාල් සංජය මොහොට්ටාල මහතා පවසයි.

මේ අතර කටුනායක  කලාපය තුළ කර්මාන්තශාලා 69 ක් තුල PCR පරීක්ෂණ 7,708 ක් සිදු කර ඇතැයිද ඔහු පවසයි. ඒ අතරින් බියගම ආයතන 48 ක් තුළ පරීක්ෂණ 3,921 සිදුකර අවසන්ව තිබේ. අනෙක් කලාප සියල්ලේද PCR පරීක්ෂණ සිදු කර ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්නායකයන්ට අනුව තවදුරටත් PCR පරීක්ෂණ සිදුකරන බවද මොහොට්ටාල මහතා පවසයි.

මීට අමතරව ආයොජන කළාපවලින් බැහැරව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක කර්මාන්ත ශාලා 1615 ක් දිවයින පුරා ක්‍රියාත්මක වේ. අදාල කාලය තුල මෙම කර්මාන්ත ශාලා තුලද PCR පරීක්ෂණ 10,051 ක් සිදු කර ඇත.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි  මෙම කර්මාන්ත ශාලා 1615 ක් දිවයිනේ දිස්ත්‍රීක්ක 25 ආවරණය වන පරිදි ක්‍රියාත්මකව තිබේ. මේ තුළ ලක්ෂ 6 කට ආසන්න පිරිසක් සේවයේ යෙදෙති. එසේම ආයෝජන කලාප 14 තුල තවත් එක්ලක්ෂ තිස්තුන් දහසක් (133,000) නිෂ්පාදන ක්‍රියාවලියට එක් වෙති. මීට අමතරව මිලියන ගණනක පිරිසක් වක්‍ර රැකියා තුළින් ජීවනෝපාය සරිකර ගනී. ශ්‍රී ලංකාවේ අපනයන ආදායමෙන් 70% කට වැඩි ප්‍රමාණයකට දායකත්වය සපයන්නේ මෙම ශ්‍රම බලකායයි.

“මෙවැනි අර්බුද අවස්ථාවකදී මහජන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී, ආරක්ෂක අංශ, ප්‍රාදේශීය ලේකම් , මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්,ව්‍යවසායකයන් හා කාර්යමණ්ඩල, කටුනායක ආයෝජන කළාපයට අනුයුක්ත නාවික හමුදා අනුකණ්ඩය හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කාර්ය මණ්ඩලය තම රාජකාරි රාමුවෙන් පරිභාහිරව විශාල කැපවීමෙන් කරන  සේවාවන් පිළිබදව රජයේ ගෞරවය හිමිවිය යුතුයි. ඔවුන්ගේ මෙම කැපවීම නොවන්න මෙම තත්වය මීට වඩා භයානක වන්නට තිබිණි.” අධ්‍යක්ෂ ජනරාල් සංජය මොහොට්ටාල මහතා පවසයි.

එසේම පවතින ගෝලීය වසංගතය හමුවේ, ජාතික ආර්ථිකය සවිමත්ව පවත්වාගෙන යාමට නම්, නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව කරගෙන යා යුතු බව  පවසන මොහොට්ටාල මහතා, එය ජාතික කර්තවයක් ලෙස සලකා මීට අයත් සියළු පාර්ශවයන් අදාල සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් හා ඊට අවශ්‍ය සහය ලබා දෙමින් මෙම අර්බුද අවස්ථාවේ පුරවැසියාගේ යුතුකම නිසි අයුරින් ඉටුකරනු ඇතැයි අපේක්ෂා කරන බවද පවසා සිටියි.

Visits: 109